ඉරාන යුද්ධය හේතුවෙන් ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම සහ සැපයුම සීමා වීම නිසා පීඩාවට පත්ව සිටින ජනතාවට සහනයක් සැලසීම සඳහා ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා සහ ටැස්මේනියා ප්‍රාන්ත දෙකෙහි පොදු ප්‍රවාහනය නොමිලේ ලබා දීමට තීරණය කර තිබේ. ඉන්ධන පිරවුම්හල්වල පවතින තදබදය අවම කිරීම සහ ගෘහස්ථ වියදම් කළමනාකරණය කර ගැනීමට සහාය වීම මෙම තාවකාලික පියවරෙහි ප්‍රධාන අරමුණයි.
වික්ටෝරියා ප්‍රාන්තයේ එළඹෙන අඟහරුවාදා සිට මාසයක කාලයක් පුරා දුම්රිය, ට්‍රෑම් රථ සහ බස් රථ සේවාවන් නොමිලේ ලබා දෙන බව ප්‍රාන්ත අග්‍රාමාත්‍ය ජසින්ටා ඇලන් (Jacinta Allan) ප්‍රකාශ කළාය. මේ වෙනුවෙන් අතිරේක ප්‍රවාහන වාර දහස් ගණනක් එක් කර ඇති අතර මගීන්ට සිය ගමන් කාඩ්පත් භාවිත කිරීමෙන් තොරව ගමන් කිරීමට අවස්ථාව හිමි වේ. ටැස්මේනියා ප්‍රාන්තයේ ද හෙට (සඳුදා) සිට ජූලි 01 වන දා දක්වා බස් සහ තොටුපළ සේවාවන් නොමිලේ ලබා දෙන බව එරට ප්‍රවාහන අමාත්‍යවරයා තහවුරු කළේය.
මේ අතර ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජය විසින් ජාත්‍යන්තර වෙළඳපොළෙන් ඉන්ධන මිලදී ගන්නා සමාගම් සඳහා රජයේ ඇපකරයක් ලබා දීමට අවශ්‍ය හදිසි නීති හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. එරට සතුව දැනට දින 39 කට ප්‍රමාණවත් පෙට්‍රල් සහ දින 30 කට ප්‍රමාණවත් ඩීසල් තොග පවතින බව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් (Anthony Albanese) පවසන අතර අනවශ්‍ය ලෙස ඉන්ධන රැස් කිරීමෙන් වළකින ලෙසත් පොදු ප්‍රවාහනය උපරිම ලෙස භාවිත කරන ලෙසත් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියි.














