හැටන් ප්‍රදේශයේ ප්‍රධාන පාසලක 10 වන වසරේ ඉගෙනුම ලබන සිසුවෙකුට පන්ති කාමරයක් තුළදී පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිසුන් දෙදෙනෙකු සහ එම පාසලේම ආදි සිසුවෙකු ඊයේ (28) අත්අඩංගුවට ගෙන තිබේ. මීට සති තුනකට පමණ පෙර සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුව ඇති බව හැටන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.ආර්.ඒ.ඩී. සුගතදාස මහතා ප්‍රකාශ කළේය. පාසල් මට්ටමින් මෙම සිද්ධිය සමථයකට පත් කර තිබුණ ද, පහරදීමේ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමඟ වින්දිත සිසුවාගේ මව විසින් පොලිසියට කළ පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත.
පහරකෑමට ලක් වූ සිසුවා මේ වන විට දික්ඔය මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර, අත්අඩංගුවට ගත් සැකකාර සිසුන් දෙදෙනා සහ ආදි සිසුවා අද (29) හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. එහිදී මහේස්ත්‍රාත්වරයාගේ නියෝග මත සැකකරුවන් ඔවුන්ගේ දෙමාපියන් වෙත භාරදීමට පියවර ගන්නා බව ද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය. පාසල් තුළ සිදුවන මෙවැනි ප්‍රචණ්ඩකාරී ක්‍රියා වැළැක්වීම සඳහා විනය පියවර මෙන්ම නීතිමය ක්‍රියාමාර්ග ද දැඩි කළ යුතු බව මෙම සිද්ධියත් සමඟ ප්‍රදේශයේ දෙමාපියන් අතර සාකච්ඡාවට බඳුන් වී තිබේ.
















