ඉන්ධන මිල තීරණය කිරීම සඳහා භාවිත කරනු ලබන “මිල සූත්‍රය” යනු සමාජයේ ඇතැම් පිරිස් පවසන පරිදි අතිශය සංකීර්ණ නිර්වචනයක් සහිත දෙයක් නොව, එය ඉතා සරල ‘Excel’ පත්‍රිකාවක් (Excel Sheet) පමණක් බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CPC) සභාපති ඩී.ජේ.ඒ.එස්. ද එස්. රාජකරුණා මහතා අවධාරණය කරයි. මිල සූත්‍රය සම්බන්ධයෙන් පවතින විවිධ මතවාද පිළිබඳව අදහස් දක්වමින් සභාපතිවරයා පෙන්වා දුන්නේ, මෙම ක්‍රියාවලිය තුළ සිදුවන්නේ ප්‍රධාන පිරිවැය සංරචක කිහිපයක් එකතු කර අවසන් මිල ගණනය කිරීමේ සරල ක්‍රියා පටිපාටියක් පමණක් බවයි. මෙහිදී පසුගිය මාසයේ තෙල් ආනයනය කළ සාමාන්‍ය මිල පදනම් කරගත් ගොඩබෑමේ පිරිවැය, ණයවර ලිපි (LC) සහ බැංකු ගාස්තු ඇතුළත් පිරිසැකසුම් පිරිවැය මෙන්ම ගබඩා කිරීම හා සේවක වැටුප් වැනි පරිපාලන වියදම් (ලීටරයකට රුපියල් 3ක් පමණ) යන කරුණු සැලකිල්ලට ගැනේ.
මීට අමතරව ඉන්ධන පිරවුම්හල් වෙත ප්‍රවාහනය කිරීම සඳහා ලීටරයකට රුපියල් 2.64ක් සහ අලෙවි නියෝජිත කොමිස් මුදල ලෙස රුපියල් 7ක් පමණ වෙන් කරන බව ද සභාපතිවරයා සඳහන් කළේය. මෙම ගණනය කිරීම්වලින් අනතුරුව සැකසෙන අවසන් පිරිවැය ලේඛනය බලශක්ති සහ මුදල් අමාත්‍යාංශ වෙත යොමු කරන අතර, අවසන් මිල තීරණය කිරීම එම අමාත්‍යාංශ එක්ව සිදු කරනු ලබයි. මෙම සියලු දත්ත රේගුව වැනි ආයතන වෙත ද ඉදිරිපත් කළ යුතු බැවින්, පාරිභෝගිකයා ගසාකෑමට කිසිදු ඉඩක් නොමැති බවත් ක්‍රියාවලිය ඉතා විනිවිදභාවයකින් යුක්ත බවත් ඔහු වැඩිදුරටත් පැවසීය. සාමාන්‍යයෙන් මාසයක් අවසානයේ මිල සංශෝධනය සිදු වුවද, පවතින යුදමය වාතාවරණය වැනි ලෝක වෙළඳපොළේ ඇති වන අසාමාන්‍ය තත්ත්වයන් හමුවේ ඇතැම් විට නියමිත කාලයට බැහැරව මිල සංශෝධනය කිරීමට සිදුවන බව ද ඔහු කරුණු පැහැදිලි කළේය.
















