ශ්‍රී ලංකාවට අවශ්‍ය බොරතෙල් සහ ඩීසල් සැපයීම සඳහා මූලික එකඟතාවන්ට පැමිණි සැපයුම්කරුවන් දෙදෙනෙකු අවසන් මොහොතේ ගිවිසුම් අත්සන් කිරීමෙන් ඉවත් වීම හේතුවෙන් ඉන්ධන ප්‍රසම්පාදන ක්‍රියාවලිය දැඩි අර්බුදයකට ලක්ව ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා ප්‍රකාශ කළේය. ලෝක වෙළෙඳපොළේ පවතින ඉන්ධන හිඟය හමුවේ වැඩිම මිලක් ඉදිරිපත් කරන පාර්ශව වෙත සැපයුම්කරුවන් නැඹුරු වීම මෙම තත්ත්වයට හේතු වී තිබේ. විශේෂයෙන්ම ගල්ෆ් කලාපයෙන් ලබාගන්නා බොරතෙල් සහ පිරිපහදු කළ ඩීසල් සපයා ගැනීම මේ වන විට අතිශය සංකීර්ණ වී ඇති බව ද ඔහු පෙන්වා දුන්නේය.
දැනට පවතින තත්ත්වය හමුවේ ඉන්ධන යෝජනා සිය ගණනක් ලැබී ඇති අතර ඒවා 24/7 ක්‍රියාත්මක වන කමිටු දෙකක් මඟින් අඛණ්ඩව ඇගයීමට ලක් කෙරේ. සපුගස්කන්ද පිරිපහදුවට අවශ්‍ය බොරතෙල් නෞකා ප්‍රසම්පාදනය ප්‍රමුඛ කාර්යයක් වී ඇති අතර, එමඟින් විදුලි උත්පාදනයට අවශ්‍ය දැවිතෙල් නිෂ්පාදනය කෙරෙන බැවින් පවතින හිඟය පියවා ගැනීමට අතිරේක ඩීසල් සහ දැවිතෙල් නෞකාවක් මිලදී ගැනීමට ද සංස්ථාව සැලසුම් කර ඇත. කෙසේ වෙතත්, පසුගිය සිකුරාදා ඩීසල් නෞකාවක් ගොඩබා ඇති අතර පෙට්‍රල් 92 රැගත් තවත් නෞකාවක් මෙරටට ළඟා වීමට නියමිතව ඇති බැවින් පිරිපහදු කළ නිෂ්පාදන සම්බන්ධයෙන් දැනට බරපතළ හිඟයක් නොමැති බව කළමනාකාර අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.














