ඉරාන යුද්ධය හේතුවෙන් උද්ගතව ඇති බලශක්ති අර්බුදය හමුවේ ඊජිප්තුවේ වෙළඳසැල්, අවන්හල් සහ කැෆේ පවත්වාගෙන යාමේ වේලාවන් සීමා කිරීමට එරට රජය පියවර ගෙන තිබේ. ලබන සෙනසුරාදා සිට ක්‍රියාත්මක වන පරිදි මාසයක කාලයක් පුරා සෑම දිනකම රාත්‍රී 9:00 වන විට මෙම ස්ථාන වසා දැමිය යුතු බවට නියෝග කර ඇත.
මීට අමතරව වීදි ලාම්පු සහ ප්‍රචාරක පුවරුවල ආලෝකය අඩු කිරීමටත්, අප්‍රේල් මාසයේ සිට සතියකට දිනක් නිවසේ සිට වැඩ කිරීමේ (Work from Home) ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමටත් ඊජිප්තු රජය තීරණය කර තිබේ. මැදපෙරදිග ගැටුම් සහ තෙල් ප්‍රවාහනය කෙරෙන ප්‍රධානතම මුහුදු මාර්ගයක් වන හෝමූස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) අවහිර වීම හේතුවෙන් ලෝක බොරතෙල් මිල සීඝ්‍රයෙන් ඉහළ යාම මෙම තීරණයට හේතු වී ඇත. ඊජිප්තු අග්‍රාමාත්‍ය මුස්තාෆා මැඩ්බුලි පවසන පරිදි එරට මාසික ඉන්ධන පිරිවැය ජනවාරි මාසයේ පැවති මට්ටමට වඩා දෙගුණයකින් පමණ ඉහළ ගොස් තිබේ.
කෙසේ වෙතත්, ඊජිප්තු ආර්ථිකයේ ප්‍රධානතම අංශයක් වන සංචාරක කර්මාන්තය ආරක්ෂා කර ගැනීම සඳහා හෝටල් සහ සංචාරක ආකර්ෂණීය ස්ථාන මෙම බලශක්ති සීමා කිරීම්වලින් නිදහස් කර ඇත. ඉන්ධන හිඟය මගහරවා ගැනීම සඳහා ඊජිප්තුව පමණක් නොව ඉතියෝපියාව වැනි අප්‍රිකානු රටවල් ද මේ වන විට විවිධ පියවර ගනිමින් සිටින බව වාර්තා වේ.














