මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම නිසා ඔස්ට්‍රේලියානු වැසියන්ට එල්ල වී ඇති ආර්ථික පීඩනය අවම කිරීම සඳහා එරට රජය විශේෂ පියවරක් ගෙන තිබේ. ඒ අනුව ඉදිරි මාස තුනක කාලය සඳහා ඉන්ධන මත පනවා ඇති බදු අඩකින් අඩු කිරීමට ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් පියවර ගෙන ඇත.
මෙම බදු සහනය එළැඹෙන ජූලි මාසය දක්වා ක්‍රියාත්මක වන අතර, මේ හේතුවෙන් ඔස්ට්‍රේලියානු වැසියන්ට ඉන්ධන ලීටරයක් සඳහා ගෙවන බදු මුදල ඔස්ට්‍රේලියානු ශත 26.3කින් අඩුවනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අග්‍රාමාත්‍යවරයා සිය X ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ, ජනතාවගේ දෛනික වියදම් කළමනාකරණය කර ගැනීමට සහ ඉන්ධන ලබා ගැනීමේදී මුදල් ඉතිරි කර ගැනීමට මෙම තීරණය මහත් අස්වැසිල්ලක් වනු ඇති බවයි.
විශේෂයෙන්ම හෝමූස් සමුද්‍ර සන්ධියේ පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ ගෝලීය ඉන්ධන සැපයුම අඩාල වී ඇති පසුබිමක, සිය රටේ වැසියන් ආරක්ෂා කර ගැනීම සඳහා මෙවැනි සහනදායී ක්‍රමවේද අත්‍යවශ්‍ය බව ඔස්ට්‍රේලියානු රජය අවධාරණය කරයි.














