ඇමරිකාව සහ ඉශ්‍රායලය, ඉරානය සමඟ ආරම්භ කළ යුද ගැටුම් දෙවන මාසයට එළඹෙත්ම, වතිකානයේ ලියෝ (Pope Leo XIV) පාප් වහන්සේ විසින් ලෝක නායකයින් වෙත දැඩි විවේචනයක් එල්ල කර තිබේ. ඉකුත් ඉරිදා (මාර්තු 29) ශාන්ත පීතර චතුරශ්‍රයේ පැවති ගොක් අඟහරුවාදා (Palm Sunday) මෙහෙය අමතමින් උන්වහන්සේ ප්‍රකාශ කළේ, යුද්ධය මෙහෙයවන සහ “අත් ලේවලින් තැවරුණු” නායකයින් කොතෙක් යාච්ඤා කළද දෙවියන් වහන්සේ ඒවා ශ්‍රවණය නොකරන බවයි. බයිබලයේ එන පාඨයන් උපුටා දක්වමින් පාප් වහන්සේ අවධාරණය කළේ ජේසුස් වහන්සේ සාමයේ රජු මිස, කිසිවෙකුට යුද්ධය සාධාරණීකරණය කිරීමට උන්වහන්සේගේ නාමය භාවිතා කළ නොහැකි බවයි.
මෙම යුද්ධය “අතිශය දරුණු” එකක් ලෙස හඳුන්වා දුන් පාප් වහන්සේ, විශේෂයෙන්ම මැදපෙරදිග වසන කිතුනු බැතිමතුන් මෙම ගැටුම් නිසා මෙවර පාස්කු උත්සවය සැමරීමට පවා නොහැකි තත්ත්වයකට පත්ව ඇති බව කනගාටුවෙන් යුතුව ප්‍රකාශ කළහ. ඉකුත් පෙබරවාරි 28 වනදා ආරම්භ වූ මෙම යුදමය තත්ත්වය හමුවේ සිදුවන ගුවන් ප්‍රහාර වහාම නතර කර සටන් විරාමයකට එළඹෙන ලෙස උන්වහන්සේ නැවත වරක් බලකර සිටිති. ඇතැම් ඇමරිකානු බලධාරීන් මෙම යුද්ධය සාධාරණීකරණය කිරීම සඳහා කිතුනු දහමේ ඇතැම් පාඨයන් භාවිතා කිරීමට උත්සාහ කළද, පාප් වහන්සේ පවසන්නේ එවැනි කිසිදු යුද්ධයක් දේව නාමයෙන් සාධාරණීකරණය කළ නොහැකි බවයි.














