හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහාන ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික නිවස අසල 2022 වසරේ පැවති විරෝධතාවයට අදාළව සිදුකරන විමර්ශනවල පූර්ණ වාර්තාවක් සති තුනක් ඇතුළත ඉදිරිපත් කරන බව නීතිපතිවරයා අද (මාර්තු 30) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 54 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීම් සිදුකර ඇති බව ද නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය අධිකරණය හමුවේ ප්‍රකාශ කළාය.
අදාළ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් තණබාලන් සුවිශ්වරන් යන අයෙකු විසින් තමන්ව නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගැනීමෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට ගොනු කළ පෙත්සමක් අද සලකා බැලූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය. අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන, අචල වෙන්ගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබීය.
පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අමිසා ටීගල් මහත්මිය අධිකරණයට ප්‍රකාශ කළේ තම සේවාදායකයා මෙම සිද්ධියට සෘජුවම සම්බන්ධ නොමැති බවයි. රජයේ නීතිඥවරිය වැඩිදුරටත් සඳහන් කළේ අදාළ සැකකරුවන් මේ වන විට ඇප මත මුදාහැර ඇති බවත්, විමර්ශනවල ප්‍රගතිය වාර්තා කිරීමට කාලය අවශ්‍ය බවත්ය. ඒ අනුව, විමර්ශන වාර්තාව ඉදිරිපත් කිරීමට මාස තුනක කාලයක් ලබාදෙන ලෙස කළ ඉල්ලීමට විනිසුරු මඩුල්ල අවසර ලබා දී තිබේ.
– අධිකරණ වාර්තාකරු














