මොරොක්කෝවේ පාර්ලිමේන්තු මැතිවරණයේ තාවකාලික ප්‍රතිඵල අනුව Authenticity and Modernity Party (PAM) පක්ෂය ආසන 97ක් ලබා පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාවක් හිමිකරගෙන තිබේ. 2021 මැතිවරණයේදී PAM පක්ෂයට හිමිව තිබුණේ ආසන 87කි.
2021 මැතිවරණයෙන් පසු රජය මෙහෙයවූ National Rally of Independents (RNI) පක්ෂය මෙවර ආසන 66ක් ලබාගෙන ඇති අතර, Istiqlal පක්ෂයට ආසන 65ක් හිමිව තිබේ. මේ අතර 2021දී ආසන 13කට සීමා වූ Justice and Development Party (PJD) පක්ෂය මෙවර ආසන 54ක් දක්වා ඉහළ ගොස් තිබීමද මැතිවරණයේ කැපී පෙනෙන වෙනසක් ලෙස වාර්තා වේ.
මොරොක්කෝ පාර්ලිමේන්තුවේ ආසන 395ක් පවතින අතර, ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අවම වශයෙන් ආසන 198ක බහුතරයක් අවශ්‍ය වේ. ඒ අනුව PAM පක්ෂයට තනිව ආණ්ඩුවක් පිහිටුවීමට ප්‍රමාණවත් ආසන සංඛ්‍යාවක් නොමැති බැවින් ඉදිරියේදී සන්ධාන සාකච්ඡා පැවැත්වීමට සිදුවනු ඇත.
මෙවර මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 38.02%ක් ලෙස වාර්තා වී ඇති අතර, එය 2021 මැතිවරණයේදී වාර්තා වූ 50%කට ආසන්න මට්ටමට වඩා සැලකිය යුතු අඩුවීමකි. රැකියා, ජීවන වියදම සහ රාජ්‍ය සේවා වැනි කරුණු මැතිවරණයේ ප්‍රධාන සාකච්ඡා මාතෘකා බවට පත්ව තිබූ අතර, පසුගිය වසරේ තරුණ විරෝධතාද මෙවර දේශපාලන පසුබිමට බලපා තිබේ.
















