ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානය සමඟ යුද්ධයකට අවතීර්ණ වූයේ ඔහුගේ සමීපතම උපදේශකයින් පිරිසක් විසින් ඔහුව නොමඟ යැවීම නිසා බව ඇමෙරිකාවේ හිටපු ප්‍රති-ත්‍රස්තවාදී ප්‍රධානී ජෝ කෙන්ට් පවසයි. ජනාධිපතිවරයා මුලින් ඉරානය සමඟ යුද්ධයකට යාමට අකමැත්තෙන් පසු වුවද, ඔහුගේ “කුඩා උපදේශක කවය” සහ ඊශ්‍රායලය එක්ව මෙය ඉතා පහසු මෙහෙයුමක් ලෙස පෙන්වා දෙමින් ට්‍රම්ප්ව ඒ සඳහා පොළඹවා ගත් බව ඔහු අවධාරණය කරයි. ඉරාන යුද්ධය ආරම්භ වීමත් සමඟ සිය ධුරයෙන් ඉල්ලා අස්වූ ජෝ කෙන්ට් මේ බව ප්‍රකාශ කළේ ‘Russia Today’ පුවත් සේවය සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදීය.
වෙනිසියුලාවේ නිකොලස් මදුරෝට එරෙහිව සිදුකළ සාර්ථක මෙහෙයුමෙන් පසුව, ඉරාන නායකත්වය ද ඒ ආකාරයෙන්ම ඉතා පහසුවෙන් බලයෙන් පහ කළ හැකි බවට ට්‍රම්ප් තුළ විශ්වාසයක් ගොඩනැගීමට මෙම උපදේශකයින් කටයුතු කර ඇති බව කෙන්ට් පෙන්වා දෙයි. විශේෂයෙන්ම 2025 ජූනි මාසයෙන් පසුව ජනාධිපතිවරයා වටා ඉතා කුඩා උපදේශක පිරිසක් රොක් වූ බවත්, ඔවුන් යුද්ධය හැර වෙනත් විකල්ප අදහස් ජනාධිපතිවරයාට ඇසීමට ඉඩ නොදුන් බවත් ඔහු පවසයි. ඉරාන යුද්ධය යනු සැබවින්ම ඊශ්‍රායලයේ අවශ්‍යතාවයක් මත නිර්මාණය වූවක් බවට ජෝ කෙන්ට් මීට පෙරද කිහිප වතාවක්ම ඉඟි කර තිබුණි.














