වර්තමානයේ වී ගොවිතැන ඇතුළු කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නිරත ජනතාව දැඩි ආර්ථික පීඩනයකට සහ අසාධාරණකම් රැසකට මුහුණ දී සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
මෙම සිදුවීමට අදාළව, අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිහින්තලය, නාච්චදූව ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් ඔහු සඳහන් කර ඇත්තේ, ගොවීන් උගස් සහ ණය ලබාගෙන වගා කටයුතු ආරම්භ කළද, ගුණාත්මක බීජ වී, පොහොර සහනාධාර සහ අවශ්‍ය කෘෂි යෙදවුම් නියමිත පරිදි නොලැබීම හේතුවෙන් දැඩි දුෂ්කරතාවලට මුහුණ දී සිටින බවයි. කෘෂි රසායන, පොහොර, ඉන්ධන සහ කෘෂි උපකරණවල මිල ඉහළ යාමත්, ගොවි උපකරණ සඳහා බදු පැනවීමත් ගොවීන්ගේ පිරිවැය තවදුරටත් ඉහළ නංවා ඇති බවද ඔහු පෙන්වා දී ඇත.
වී නිෂ්පාදනය සඳහා වැය වන පිරිවැයට සාපේක්ෂව ගොවීන්ට සාධාරණ සහ ස්ථාවර මිලක් නොලැබෙන බවත්, දේශීය වී නිෂ්පාදනය දිරිගැන්වීම වෙනුවට සහල් ආනයනය කිරීම හේතුවෙන් දේශීය ගොවියාට අසාධාරණයක් සිදුවන බවත් ඔහු චෝදනා කර තිබේ. සමගි ජන බලවේග රජයක් යටතේ ගොවීන්ට නවීන තාක්ෂණය, සාධාරණ පිරිවැයකින් ප්‍රාග්ධන පහසුකම් සහ නිෂ්පාදනය ඉහළ නැංවීමට අවශ්‍ය සහාය ලබාදෙන බවට විපක්ෂ නායකවරයා එහිදී ප්‍රතිඥා දී ඇත.














