ලංකා විදුලිබල මණ්ඩලය නියෝජනය කරන වෘත්තීය සමිති නියෝජිතයන් සහ අලුතින් ස්ථාපනය කරන ලද රාජ්‍ය සමාගම්වල සභාපතිවරුන් අතර විශේෂ සාකච්ඡාවක් කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කම්කරු අමාත්‍යාංශයේදී පවත්වා තිබේ.
පසුගියදා පැවති විදුලි සේවක වර්ජනය අවසන් කිරීම සඳහා කම්කරු අමාත්‍යාංශය සෘජුව මැදිහත් වූ අතර, කාර්මික ආරවුල් පනතේ 12:1 වගන්තිය ප්‍රකාරව සියලු පාර්ශ්වයන් එළඹ තිබූ සම්මුතියට අනුව මෙම සාකච්ඡාව සංවිධානය කර ඇත. මෙහිදී වෘත්තීය සමිති නියෝජිතයන් විසින් ඉදිරිපත් කරන ලද පත්වීම් ලිපි ලබාදීම, ධුරාවලි ගැටලු සහ සේවක අත්පොත සම්බන්ධ ගැටලු ඇතුළු කරුණු රැසක් පිළිබඳව දීර්ඝ වශයෙන් අවධානය යොමු කෙරුණු අතර, එම ගැටලුවලට සාධනීය විසඳුම් සහ ස්ථාවරයන්ට එළඹීමට පාර්ශ්වයන්ට හැකි වී තිබේ.
සේව්‍ය සහ සේවක දෙපාර්ශ්වයම සහයෝගයෙන් කටයුතු කිරීමෙන් ඕනෑම ගැටලුවකට කඩිනම් විසඳුම් ලබාගත හැකි බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, ඒ සඳහා අවශ්‍ය උපරිම සහාය ලබාදෙන බව ද අවධාරණය කළේය. පවතින අර්බුදකාරී තත්ත්වයන් හමුවේ සාකච්ඡා මාර්ගයෙන් කටයුතු කරමින් රට සහ ජනතාව වෙනුවෙන් අභියෝග ජයගත යුතු බව ද හෙතෙම සඳහන් කළේය. මෙම එකඟතාවල ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා වන මීළඟ සාකච්ඡාව එළඹෙන අප්‍රේල් මස 10 වැනිදා හෝ ඊට පෙර පැවැත්වීමට ද මෙහිදී තීරණය වී ඇත.
මෙම සාකච්ඡාව සඳහා කම්කරු අමාත්‍යාංශයේ ලේකම් එස්. එම්. පියතිස්ස, කම්කරු කොමසාරිස් ජනරාල් නදීකා වටලියද්ද යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් මෙන්ම විදුලිබල රාජ්‍ය සමාගම්වල සභාපතිවරු සහ වෘත්තීය සමිති නියෝජිතයෝ රැසක් එක්ව සිටියහ.














