තලවකැලේ සිට නුවරඑළිය දක්වා ධාවනය වූ ලංගම බස් රථයකට ගොඩවීමට උත්සාහ කළ කාන්තාවක්, එම බස් රථයේ පසුපස රෝදයට යටවීමෙන් බරපතළ තුවාල ලබා අද (31) නුවරඑළිය රෝහලට ඇතුළත් කර තිබේ. නුවරඑළිය වටරවුම් මාර්ගයේ ඩෙස්පොඩ් ප්‍රදේශයේදී මෙම අවාසනාවන්ත අනතුර සිදුව ඇත.
බස් රථයේ මගීන් විශාල පිරිසක් සිටීම හේතුවෙන් රියදුරු විසින් බස් රථය අදාළ ස්ථානයේ නොනවත්වා ධාවනය කර තිබේ. එහෙත් එම අවස්ථාවේදී බස් රථය පිටුපසින් දිවගොස් එයට ගොඩවීමට උත්සාහ කළ කාන්තාව බිම ඇදවැටී ඇති අතර, එහිදී ඇය බස් රථයේ පසුපස රෝදයට යටවී ඇති බව වාර්තා වේ.
බරපතළ තුවාල ලැබූ කාන්තාව මේ වන විට නුවරඑළිය මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව පොලිසිය සඳහන් කරයි. අධික මගීන් සංඛ්‍යාවක් සහිත බස් රථවලට මෙලෙස අවදානම් සහගත ලෙස ගොඩවීමට උත්සාහ නොකරන ලෙස පොලිස් රථවාහන අංශය මගී ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.














