වෘත්තීය සමිතිවල සීමිත පිරිසකගේ අවශ්‍යතා මත මෙතෙක් කලක් අසාධාරණයට ලක්වූ වෛද්‍යවරුන් වෙනුවෙන් සෘජුව මැදිහත් වී සාධාරණය ඉටු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගන්නා බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (31) ප්‍රකාශ කළේය. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් වත්මන් වෛද්‍ය වර්ජනය පිළිබඳව ඔහු රජයේ ස්ථාවරය පැහැදිලි කළේය.
යම් පිරිසකගේ පෞද්ගලික න්‍යායපත්‍ර අනුව කටයුතු කිරීම නිසා පීඩාවට පත් වෛද්‍යවරුන් වෙනුවෙන් අමාත්‍යාංශය හරහා ඉටුවිය යුතු සේවාවන් විධිමත්ව ඉටු කරන බව ඔහු අවධාරණය කළේය. රටේ පවතින වත්මන් තත්ත්වය හමුවේ ඇතැම් වෘත්තීය සමිති ගන්නා ක්‍රියාමාර්ග සාධාරණ නොවන බව පෙන්වා දුන් අමාත්‍යවරයා, මහජනතාව අපහසුතාවයට පත් කරමින් වර්ජනවල නිරත වීමෙන් වළකින ලෙස ඉල්ලීමක් ද කළේය.
රජයේ රෝහල්වල වැඩ වර්ජනය කරමින් සාමාන්‍ය ජනතාවට ප්‍රතිකාර ලබාදීම ප්‍රතික්ෂේප කරන ඇතැම් පිරිස්, සවස් කාලයේ පෞද්ගලික වෛද්‍ය සේවාවල නිරත වීම සදාචාරාත්මක නොවන බව ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. සෞඛ්‍ය සේවාවේ ගැටලු විසඳීම සඳහා සාකච්ඡා මාර්ගයෙන් කටයුතු කිරීමට රජය සූදානම් බවත්, රෝගී ජීවිත අවදානමට ලක් නොකරන ලෙසත් ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටියේය.














