බ්‍රිතාන්‍යයේ තෙවන චාල්ස් රජු සිය ප්‍රථම නිල රාජ්‍ය සංචාරය සඳහා ලබන මාසයේදී ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යන බව බකිංහැම් මාලිගය අද (31) නිල වශයෙන් තහවුරු කළේය. ඉරාන යුද්ධය සම්බන්ධයෙන් පවතින උණුසුම් දේශපාලන වාතාවරණය හමුවේ මෙම සංචාරය කල් දමන ලෙස විවිධ පාර්ශ්වයන්ගෙන් ඉල්ලීම් ඉදිරිපත් වුවද, සැලසුම් කළ පරිදි එය ක්‍රියාත්මක කිරීමට තීරණය වී තිබේ.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ ආරාධනයකට අනුව සිදුවන මෙම සංචාරයට කැමිලා රැජින ද එක්වන අතර, මෙහි ප්‍රධාන අරමුණ වන්නේ දෙරට අතර පවතින දීර්ඝකාලීන සබඳතා අලුත් කිරීම සහ ඇමරිකානු නිදහසේ 250 වන සංවත්සරය සැමරීමයි. ඇමරිකානු සංචාරයෙන් අනතුරුව චාල්ස් රජු බර්මියුඩාව වෙත ද යාමට නියමිත අතර, එය ඔහු රජු ලෙස බ්‍රිතාන්‍ය විදේශ ප්‍රදේශයක (British Overseas Territory) සිදුකරන පළමු සංචාරය ලෙස ඉතිහාසයට එක්වනු ඇත.
මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය සහ ඒ පිළිබඳව බ්‍රිතාන්‍ය රජය දක්වන මධ්‍යස්ථ ප්‍රතිචාරය ජනාධිපති ට්‍රම්ප්ගේ විවේචනයට ලක්ව ඇති පසුබිමක මෙම සංචාරය සිදුවීම විශේෂත්වයකි. කෙසේ වෙතත්, බ්‍රිතාන්‍ය අගමැති කියර් ස්ටාර්මර් (Keir Starmer) යළිත් අවධාරණය කර ඇත්තේ මෙය බ්‍රිතාන්‍යය සම්බන්ධ වූ යුද්ධයක් නොවන බවත්, බ්‍රිතාන්‍යයේ මැදිහත්වීම ස්වකීය වැසියන්ගේ ආරක්ෂාව සඳහා වන පියවරවලට පමණක් සීමා වන බවත්ය.














