ඊයේ පැවැති සතිපතා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී පොලී අනුපාතික (Yields) තරමක් ඉහළ යාමත් සමඟ රජයේ සුරැකුම්පත් ද්විතීයික වෙළෙඳපොළේ ගනුදෙනු සීමිත මට්ටමක පැවතුණා
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී රුපියල් බිලියන 90ක බිල්පත් නිකුත් කිරීමට සැලසුම් කර තිබුණ ද රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය (PDMO) විසින් ඉන් ලබාගෙන ඇත්තේ රුපියල් බිලියන 32.5ක මුදලක් පමණි. එහිදී මාස 3, මාස 6 සහ මාස 12 යන පරිණත කාලයන් සඳහා පිළිවෙලින් රුපියල් බිලියන 10.1ක්, බිලියන 16.2ක් සහ බිලියන 6.2ක් බැගින් ලබාගෙන තිබෙනවා. මෙම පරිණත කාලයන් සඳහා බරිත සාමාන්‍ය පොලී අනුපාතික පිළිවෙලින් 7.80%, 8.09% සහ 8.41% දක්වා සුළු වශයෙන් ඉහළ ගොස් ඇත
මේ අතර විදේශ විනිමය වෙළෙඳපොළ තුළ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇති අතර ඩොලරයක අගය රුපියල් 315.19ක් ලෙස සටහන් වුණා. මීට පෙර එය වාර්තා වූයේ රුපියල් 314.88ක් ලෙසයි. කෙසේ වෙතත් බැංකු පද්ධතියේ පවතින අතිරික්ත ද්‍රවශීලතාව (Liquidity) රුපියල් බිලියන 322.95 දක්වා වර්ධනය වී තිබෙනවා













