Meta සමාගමේ සම-නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් (Mark Zuckerberg) හට 2026 වසර ආරම්භයේ සිට මේ දක්වා කාලය තුළ ඩොලර් බිලියන 46.3ක දැවැන්ත වත්කම් ප්‍රමාණයක් අහිමි වී ඇති බව නවතම වාර්තා අනාවරණය කරයි. Meta සමාගමට එරෙහිව ප්‍රබල අධිකරණ තීන්දු කිහිපයක් ප්‍රකාශයට පත් වීමත් සමඟ සමාගමේ කොටස් මිල 18%කින් පමණ පහත වැටීම මීට ප්‍රධාන හේතුව වී තිබේ.
වසර ආරම්භයේදී ලොව 6 වන ධනවත්ම පුද්ගලයා ලෙස ඩොලර් බිලියන 233ක වත්කම් හිමිකරගෙන සිටි සකර්බර්ග්, මේ වන විට ඩොලර් බිලියන 187ක වත්කම් ප්‍රමාණයක් දක්වා පසුබැස ඇත. පසුගිය සිකුරාදා දිනයේදී පමණක් ඔහුගේ වත්කම්වලින් ඩොලර් බිලියන 7.7ක් අහිමි වූයේ අධිකරණ තීන්දු ප්‍රකාශයට පත් වීමෙන් පසු කොටස් වෙළෙඳපොළේ ඇති වූ බලපෑම හේතුවෙනි. 2025 වසරේදී ඔහු උපයාගත් ඩොලර් බිලියන 26ක ලාභය ද ඉක්මවා යමින් මෙවර පාඩුව වාර්තා වී තිබේ.
සමාජ මාධ්‍ය ඇබ්බැහි වීම් හරහා හානි සිදුවන බවට එල්ල වූ චෝදනාවලට Meta සහ YouTube වගකිව යුතු බවට අධිකරණය තීන්දු කිරීම මෙන්ම, ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් පරිශීලකයන් නොමග යැවීම හේතුවෙන් නිව් මෙක්සිකෝවේදී පැනවූ ඩොලර් මිලියන 375ක දඩය ද මීට තීරණාත්මක ලෙස බලපා ඇත. මෙම නඩු තීන්දු ඉදිරියේදී සමාගමට එරෙහිව තවත් නීතිමය අභියෝග රැසක් මතු වීමට මග පාදනු ඇතැයි ආයෝජකයෝ බිය පළ කරති.














