එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුවේදී ශ්‍රී ලංකාව පිළිබඳ සර්ව පාර්ශ්වීය පාර්ලිමේන්තු කණ්ඩායම (APPG) විසින් ශ්‍රී ලංකාවේ ආර්ථික ඉදිරි දැක්ම සහ දෙරට අතර සබඳතා පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පසුගියදා පවත්වන ලදී. ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය අද (01) නිවේදනය කළේ, 2022 ණය අර්බුදයෙන් පසු මෙරට ආර්ථිකය ස්ථාවර කර ගැනීම සඳහා ලබා ඇති ප්‍රගතිය පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වූ බවයි.
එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් නිමල් සේනාධීර මහතා මෙහිදී අදහස් දක්වමින්, ජාත්‍යන්තර සහ ද්විපාර්ශ්වික හවුල්කරුවන් සමඟ අඛණ්ඩව සහයෝගයෙන් කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය කළේය. එක්සත් රාජධානියේ ප්රමුඛ පෙළේ පර්යේෂණ ආයතනයක් වන ‘ODI Global’ හි ජ්‍යෙෂ්ඨ සාමාජික ආචාර්ය ගනේෂන් විග්නරාජා මහතා ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති සහ මූල්‍ය ක්ෂේත්රයන්හි ආයෝජනය කිරීමට එක්සත් රාජධානියට විශාල අවස්ථාවක් පවතින බවයි.
සාර්ව ආර්ථික ස්ථාවරත්වය, ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සහ ආයෝජක විශ්වාසය තවදුරටත් වර්ධනය කිරීම ශ්‍රී ලංකාවේ තිරසාර වර්ධනයට අත්‍යවශ්‍ය සාධක බව ද මෙහිදී විද්වතුන් පෙන්වා දුන්හ. ඇන්ඩෘ ස්නෝඩන් (Andrew Snowdon) මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සැසිය, ශ්‍රී ලංකාවේ ආර්ථික පරිවර්තනය සඳහා ජාත්‍යන්තර සහයෝගය ලබා ගැනීමෙහිලා වැදගත් පියවරක් ලෙස සැලකේ.














