මැදපෙරදිග කලාපයේ පවතින අමෙරිකා-ඉරාන යුද ගැටුම් හේතුවෙන් ගෝලීය බලශක්ති අර්බුදයක් නිර්මාණය වී ඇති පසුබිමක, ඕස්ට්‍රේලියානු රජය ඉන්ධන සඳහා අයකරන සුරාබදු (Fuel Excise) කපා හැරීමට සහ පොදු ප්‍රවාහනය දිරිමත් කිරීමට අද (01) පියවර ගෙන තිබේ. ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් (Anthony Albanese) ජාතිය අමතමින් කියා සිටියේ ඉදිරි මාස කිහිපය එරට වැසියන්ට එතරම් පහසු නොවනු ඇති බවයි.
අමෙරිකාව සහ ඉරානය අතර පවතින යුද්ධය දෙවන මාසයටත් එළඹීමත් සමඟ, ලෝක බලශක්ති වෙළඳාමේ තීරණාත්මක මාවතක් වන හෝමූස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) හරහා සිදුවන නාවික ගමන් බිමන්වලට දැඩි බාධා එල්ල වී ඇත. මේ හේතුවෙන් ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර සැපයුම් ද සීමා වී තිබේ. මෙම තත්ත්වයට පිළියමක් ලෙස ඕස්ට්‍රේලියානු රජය විසින් “ජාතික ඉන්ධන ආරක්ෂණ සැලැස්ම” (National Fuel Security Plan) බලාත්මක කර ඇත.
ඕස්ට්‍රේලියානු වැසියන් ඉන්ධන පීඩනයෙන් ආරක්ෂා කිරීම සඳහා රජය හැකි උපරිම පියවර ගන්නා බවත්, ඒ යටතේ ඉන්ධන බදු අඩු කිරීමට අමතරව පොදු ප්‍රවාහනය භාවිතය දිරිමත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය. යුද්ධය හේතුවෙන් ඇතිවන බලපෑම් මුළුමනින්ම ඉවත් කළ නොහැකි වුවද, එහි දරුණුතම බලපෑමෙන් රට ආරක්ෂා කරන බව ඔහු සිය ‘X’ පණිවිඩය මගින් වැඩිදුරටත් සඳහන් කළේය.














