සවස 6.00 සිට නිවා දමන වීදි ලාම්පු රාත්‍රී 10.00ට යළි දල්වන්නේ හොරුන් වෙනුවෙන් බවත් ආණ්ඩුව හොරකම් කරමින් හොරුන් වෙනුවෙන් කටයුතු කිරීම නිසා එසේ කරන බවත් හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරනවා. ජනතාවාදි ඒකාබද්ධ විපක්ෂය විසින් අද (අප්‍රේල් 1) කොළඹදී පවත්වනු ලැබූ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනුයි හිටපු අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. ගල්අඟුරු හොරකම සහ එය සිදුකළ පුද්ගලයා කිසිදු පැකිලීමකින් තොරව ජනාධිපතිවරයා විසින් ආරක්ෂා කරමින් සිටින බවද ඔහු මෙහිදී කියා සිටියා.
සවස 6.00 සිට රාත්‍රී 10.00 දක්වා ප්‍රධාන මාර්ගවල පමණක් නොව අතුරු මාර්ගවලත් වීදි ලාම්පු නිවා දමා ඇති බැවින් මුළු මහත් මාර්ග පද්ධතියම දැඩි අඳුරක පවතින බව ඔහු පෙන්වා දෙනවා. මේ හේතුවෙන් යතුරුපැදිකරුවන්, පාපැදිකරුවන් සහ පදිකයන් විවිධ අනතුරුවලට මුහුණ දීමේ අවදානමක් පවතින අතර විශේෂයෙන්ම වැඩ ඇරී නිවෙස් බලා යන කාන්තාවන්ගේ සහ උපකාරක පන්ති නිමවී යන සිසුවියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්නයක් මතුවන බවද ඔහු අවධාරණය කළා. මංකොල්ලකරුවන්ට අඳුරේදී පහසුවෙන්ම කාන්තාවන්ගේ රන් ආභරණ කොල්ලකෑමට මෙයින් අවස්ථාව සැලසෙන බවයි ඔහු පවසන්නේ.
රාත්‍රී 10.00ට පසුව වීදි ලාම්පු දල්වන්නේ සැබෑ ලෙසම හොරුන්ට අවශ්‍ය පහසුකම් සලසා දීමට බවත්, එමඟින් ඔවුන්ට සොරකම් කරන ස්ථාන පහසුවෙන් හඳුනාගත හැකි බවත් ඔහු උපහාසාත්මකව කියා සිටියා. එසේම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බලයට පත්වීමට පෙර පැවසුවේ තමන්ගේ පාලනයක් යටතේ දකින්නට ලැබෙන්නේ සිනමා ශාලාවල පෝලිම් පමණක් බව වුවද මේ වන විට පිරවුම්හල් අසල තෙල් පෝලිම් පවතින බවත්, එසේ පෝලිම් පවතින්නේ පිරවුම්හල් අසල චිත්‍රපට පෙන්වන නිසා විය හැකි බවත් පවසමින් ඔහු වත්මන් රජය දැඩි විවේචනයට ලක් කළා.
















