ඉරාන බොරතෙල් රැගත් නෞකාවක් ඉන්දියාව බලා යාත්‍රා කරන බවට ජාත්‍යන්තර වාර්තා පළ වුවද, ඉන්දීය වරාය සහ නාවික අමාත්‍යාංශය අද (01) ප්‍රකාශ කළේ ඒ පිළිබඳව නිශ්චිත තොරතුරක් තමන් සතු නොවන බවයි. 2019 වසරෙන් පසු ඉන්දියාවට ලැබෙන පළමු ඉරාන බොරතෙල් තොගය මෙය වනු ඇති බවට මීට පෙර මත පළ වී තිබුණි.
නෞකා ගමන් මග නිරීක්ෂණය කරන දත්ත (Ship tracking data) අනුව, ‘Ping Shun’ නැමැති නෞකාව බොරතෙල් බැරල් 600,000ක් රැගෙන ගුජරාටයේ වඩිනාර් (Vadinar) වරාය බලා එමින් පවතින බව මීට පෙර වාර්තා විය. මෙම වරාය රුසියානු ‘Rosneft’ සමාගමේ සහාය ලබන ‘Nayara Energy’ පිරිපහදුව පිහිටි ස්ථානයයි. කෙසේ වෙතත්, ඉන්දීය නාවික අමාත්‍යාංශයේ අතිරේක ලේකම් මුකේෂ් මංගල් (Mukesh Mangal) සඳහන් කළේ මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හමුවේ එවැනි නෞකාවක් පිළිබඳ රජයට නිල තොරතුරු ලැබී නොමැති බවයි.
අමෙරිකා-ඉරාන යුද්ධය හේතුවෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර වී ඇති පසුබිමක, ඉන්දියාව වැනි රටවල් සිය බලශක්ති අවශ්‍යතා සපුරා ගැනීමට ගන්නා උත්සාහයන් පිළිබඳව ජාත්‍යන්තර අවධානය යොමු වී තිබේ. ඉරානයෙන් තෙල් ආනයනය කිරීම සම්බන්ධයෙන් පවතින ජාත්‍යන්තර සම්බාධක හමුවේ මෙම නෞකාවේ ගමනාන්තය පිළිබඳව තවදුරටත් විමර්ශනය කෙරෙමින් පවතී.














