වවුනියාව, නෙලුක්කුලම පොලිස් වසමට අයත් භාරතිපුරම් ගම්මානය අසලදී ඊයේ (31) අලුයම වේගයෙන් ධාවනය වූ ටිපර් රථයක් පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගය අසල තිබූ විදුලි කණුවක ගැටීමෙන් දරුණු අනතුරක් සිදුව තිබේ. අනතුරේ ප්‍රබලතාවය හේතුවෙන් අදාළ විදුලි කණුව සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇති අතර, ටිපර් රථයේ ඉදිරිපස කොටසට ද බරපතළ හානි සිදුව ඇති බව වාර්තා වේ.
අනතුර සිදුවන අවස්ථාවේදී ටිපර් රථයේ රියදුරු පමණක් එහි සිට ඇති අතර, ඔහු සුළු තුවාල ලබා වවුනියාව රෝහලට ඇතුළත් කර තිබේ. විදුලි කණුව කඩා වැටීම හේතුවෙන් භාරතිපුරම් සහ ඒ අවට ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම සම්පූර්ණයෙන්ම ඇණහිට ඇති අතර, එය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් මේ වන විට කටයුතු කරමින් සිටී. රියදුරුට නින්ද යාම හෝ අධික වේගය අනතුරට හේතුව වන්නට ඇති බව පොලිසිය සැක පළ කරයි.
නෙලුක්කුලම පොලිසිය විසින් අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වන අතර, රජයේ දේපළවලට සිදුකළ හානිය සම්බන්ධයෙන් රියදුරුට එරෙහිව නීතිමය පියවර ගැනීමට නියමිතය. විදුලි රැහැන් මාර්ගයට වැටී තිබීම හේතුවෙන් ප්‍රදේශයේ රථවාහන ගමනාගමනයට ද සුළු බාධා එල්ල වූ අතර, පොලිසිය මැදිහත් වී එය යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගත්තේය.













