අත්අඩංගුවට ගත් සැකකරුවකු සන්තකයේ තිබූ ඒ.ටී.එම් (ATM) කාඩ්පතකින් රුපියල් 90,000ක මුදලක් ලබාගැනීමේ චෝදනාවට ලක්ව දින කිහිපයක් අතුරුදන්ව සිටි කොස්ගොඩ පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසු ඇප මත මුදාහැර තිබේ. මෙලෙස ඇප ලැබී ඇත්තේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්. එම්. ඩී. කේ. බී. දුනුවිල මහතාට බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිවේදී උදය කුමාර වුට්ලර් මහතා තහවුරු කළේය. සැකකාර ස්ථානාධිපතිවරයා රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට අධිකරණය නියෝග කර ඇත.
මෙම සිද්ධියට අදාළ විමර්ශන ආරම්භ වී ඇත්තේ කොස්ගොඩ පොලිසිය මඟින් අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවකු සන්තකයේ තිබූ ATM පතකින් රුපියල් ලක්ෂ හයකට ආසන්න මුදලක් වංචා සහගත ලෙස ලබාගැනීම සම්බන්ධයෙනි. ඒ අනුව දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ නියෝග මත ඇල්පිටිය පොලිස් කොට්ඨාසය මඟින් සිදුකළ පරීක්ෂණවලදී කොස්ගොඩ පොලිසියේ සේවය කළ කොස්තාපල්වරයෙකු (100721) ඉකුත් මස 11 වනදා අත්අඩංගුවට ගෙන තිබුණි. එම කොස්තාපල්වරයා ලබාදුන් ප්‍රකාශයකට අනුව, ඔහු විසින් ATM පතෙන් ලබාගත් රුපියල් ලක්ෂයක මුදලින් රුපියල් 90,000ක් එවකට ස්ථානාධිපතිවරයා වෙත ලබාදුන් බව හෙළි වී ඇත.
විමර්ශන කටයුතු අතරතුරදී හිටපු ස්ථානාධිපතිවරයා පොලිස් තොරතුරු සටහන් පොතේ අසනීප බවට සටහන් යොදා පොලිස් ස්ථානයෙන් බැහැරව ගොස් තිබූ අතර, පොලිස් කණ්ඩායම් ඔහුගේ නාගොඩ පදිංචි නිවසට ගියද ඔහු එහි රැඳී සිට නොමැත. ගෙවීම් උපක්‍රම වැළැක්වීමේ පනත යටතේ බලපිටිය අධිකරණය වෙත මෙම කරුණු ඉදිරිපත් කර තිබේ. ඇල්පිටිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලකී රන්දෙණිය මහතාගේ මෙහෙයවීමෙන් සහකාර පොලිස් අධිකාරී නාමල් පෙරේරා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.














