ඉරානය සහ අමෙරිකා-ඊශ්‍රායල හවුල්කාරීත්වය අතර පවතින යුදමය වාතාවරණය හමුවේ, බ්‍රිතාන්‍යය විසින් ඉරානයට එරෙහිව දැඩි රාජ්‍යතාන්ත්‍රික සහ මිලිටරි ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වන බව බ්ලූම්බර්ග් (Bloomberg) පුවත් සේවය අද (අප්‍රේල් 01) වාර්තා කළේය. ඒ අනුව, ඉරානය විසින් වසා දමා ඇති උපායමාර්ගිකව වැදගත් හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) යළි විවෘත කිරීමේ අරමුණින් බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඉවෙට් කූපර් (Yvette Cooper) ගේ ප්‍රධානත්වයෙන් රටවල් 35ක සහභාගීත්වයෙන් යුත් විශේෂ අන්තර්ජාල හමුවක් හෙට (අප්‍රේල් 02) පැවැත්වීමට නියමිතය.
මෙම හමුවේ ප්‍රධාන අරමුණ වන්නේ ඉරානය සමඟ සෘජු සබඳතා පවත්වන රටවල් හරහා රාජ්‍යතාන්ත්‍රික විසඳුමකට උත්සාහ කිරීම වුවද, එම උත්සාහයන් ව්‍යර්ථ වුවහොත් ගත හැකි හමුදාමය ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය. විශේෂයෙන්ම ඉරානයේ තෙල් සහ නාවික ක්ෂේත්‍ර ඉලක්ක කරගනිමින් දැඩි සම්බාධක පැනවීම සහ නාවික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඒකාබද්ධ මෙහෙයුම් දියත් කිරීම කෙරෙහි අවධානය යොමු වී තිබේ.
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියර් ස්ටාර්මර් (Keir Starmer) පෙන්වා දෙන්නේ හෝමුස් සමුද්‍ර සන්ධිය අවහිර වීම නිසා ලෝක ආර්ථිකයට සහ බලශක්ති සැපයුමට එල්ල වී ඇති දැඩි තර්ජනය හමුවේ බ්‍රිතාන්‍යය තවදුරටත් නිහඬව නොසිටින බවයි. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙම ප්‍රදේශයේ ආරක්ෂාව අනෙකුත් රටවල් විසින්ම තහවුරු කරගත යුතු බවට කර ඇති ප්‍රකාශය මධ්‍යයේ, බ්‍රිතාන්‍යය මෙලෙස නායකත්වය ගනිමින් යුරෝපීය සහ ගල්ෆ් කලාපීය රටවල් ඒකාබද්ධ කිරීමට පියවර ගැනීම සුවිශේෂී සිදුවීමකි.
තොරතුරු උපුටා ගැනීම: china pulse(x) ඇසුරින්














