අඩ සියවසකට අධික කාලයකට පසු මිනිසුන් සහිතව සඳ වටා ගමන් කිරීමේ ඓතිහාසික මෙහෙයුම අරඹමින් නාසා ආයතනයේ ‘ආටෙමිස් 2’ (Artemis II) අභ්‍යවකාශ යානය ඊයේ (01) සාර්ථකව ගුවන්ගත විය. ෆ්ලොරිඩාවේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් දියත් කෙරුණු මෙම දැවැන්ත රොකට්ටුව මඟින් ඇමරිකානු ගගනගාමීන් තිදෙනෙකු සහ කැනේඩියානු ගගනගාමියෙකු සඳ බලා රැගෙන යනු ලබයි. වසර ගණනාවක ප්‍රමාදයකින් සහ දැවැන්ත පිරිවැයකින් පසු සාක්ෂාත් කරගත් මෙම ජයග්‍රහණය මුළු මහත් මානව සංහතියේම ජයග්‍රහණයක් බව ගගනගාමීන් ප්‍රකාශ කර සිටියහ.
මෙම දස දින මෙහෙයුමේදී ගගනගාමීන් සඳ මත ගොඩබැසීමක් සිදු නොකරන අතර සඳ වටා පියාසර කරමින් නව රොකට්ටුවේ සහ යානයේ ක්‍රියාකාරීත්වය පරීක්ෂා කිරීමට නියමිතය. මෙම මෙහෙයුම විශේෂ වන්නේ ප්‍රථම වරට කාන්තාවක්, කළු ජාතිකයෙක් සහ ඇමරිකානු නොවන අයෙකු සඳ බලා යන මෙහෙයුමකට එක් කර ඇති බැවිනි. එමෙන්ම මීට පෙර කිසිදු මිනිසෙකු ගමන් නොකළ තරම් ඈත අභ්‍යවකාශයට මෙම කණ්ඩායම ගමන් කිරීමට නියමිතව තිබේ. මෙය 2028 වසරේදී සිදු කිරීමට සැලසුම් කර ඇති සඳ මත මිනිසුන් ගොඩබැස්වීමේ මෙහෙයුමට පියවරක් ලෙස සැලකේ.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ද මෙම ජයග්‍රහණය සම්බන්ධයෙන් සිය සුබපැතුම් එක් කර ඇති අතර අභ්‍යවකාශය තුළ ඇමරිකාවේ ආධිපත්‍යය යළිත් තහවුරු වී ඇති බව ඔහු පවසයි. මැදපෙරදිග යුදමය වාතාවරණයක් පවතින පසුබිමක වුවද, ඇමරිකාව මෙම අභ්‍යවකාශ මෙහෙයුම ජයග්‍රාහී ලෙස දියත් කිරීම ලෝකයේම අවධානයට ලක්ව ඇත. ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මෙම ඓතිහාසික ගුවන්ගත වීම සජීවීව නරඹමින් සිය ප්‍රීතිය පළ කර තිබේ.














