මෙරට තුළ රැඳී සිටිමින් අන්තර්ජාලය භාවිතා කර මූල්‍ය අපරාධ (Online Financial Scams) සිදු කිරීමට යොදා ගන්නා බවට සැකකෙරෙන රුපියල් ලක්ෂ පහළොවක් පමණ වටිනා විද්‍යුත් සන්නිවේදන උපකරණ තොගයක් සමඟ විදේශීය ගුවන් මගීන් 09 දෙනෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉන්දුනීසියානු ජාතික තරුණයන් පිරිසකි. මොවුන් අද (අප්‍රේල් 2) අලුයම 12.50ට පමණ සිංගප්පූරු ගුවන් සේවයේ SQ-468 දරන ගුවන් යානයෙන් සිංගප්පූරුවේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.
ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලුවල රහසිගතව සඟවා තිබූ පාවිච්චි කරන ලද නවීනතම ජංගම දුරකථන 70ක්, කුඩා පරිගණක (Mini Computers) 08ක් සහ සිම් කාඩ්පත් 54ක් රේගු නිලධාරීන් විසින් සොයාගෙන ඇත. කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් සහ ශ්‍රී ලංකා පොලිසියේ අදාළ විශේෂ විමර්ශන අංශ එක්ව මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.














