රුපියල් හැත්තෑ දෙලක්ෂයක් (ලක්ෂ 72) පමණ වටිනා චීනයේ නිෂ්පාදිත නීති විරෝධී දුම්වැටි තොගයක් මෙරටට ගෙන ආ විදේශීය පුද්ගලයෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ චීනයේ ෂී ජියෑන් (Zhejiang) පළාතේ පදිංචි 27 හැවිරිදි වියේ පසුවන චීන ජාතිකයෙකි.
මොහු අද (අප්‍රේල් 2) අලුයම 12.25ට පමණ මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට මැලේසියානු ගුවන් සේවයට අයත් MH-179 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ. ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී රේගු නිලධාරීන් විසින් ඔහු පරීක්ෂාවට ලක් කර ඇති අතර එහිදී කිසිවක් ප්‍රකාශ කිරීමට ඔහුට නොහැකි වී ඇත.
පසුව ඔහුගේ ගමන් මලු 04ක් දැඩි පරීක්ෂාවට ලක් කළ අවස්ථාවේදී එහි අඩංගු කර තිබූ චීන නිෂ්පාදිත දුම්වැටි වර්ග 07කට අයත් දුම්වැටි 48,000ක් අඩංගු දුම්වැටි කාටූන් 240ක් සොයා ගැනීමට රේගු නිලධාරීන්ට හැකි විය. රේගු නිලධාරීන් විසින් සැකකරු සහ දුම්වැටි තොගය අත්අඩංගුවට ගෙන ඇති අතර මේ පිළිබඳව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.














