ඉරානය සම්බන්ධව පවතින යුදමය වාතාවරණය හේතුවෙන් හටගෙන ඇති ගෝලීය ආර්ථික කම්පනය තවත් මාස ගණනාවක් පුරා පවතිනු ඇතැයි ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් විශේෂ ප්‍රකාශයක් කරමින් අවධාරණය කරයි. ඉතිහාසයේ දරුණුතම ඉන්ධන මිල ඉහළ යාමට මෙම ගැටුම හේතු වී ඇති බවත්, ඔස්ට්‍රේලියාව මෙම යුද්ධයේ සක්‍රීය පාර්ශවකරුවකු නොවුණද එහි පිරිවැය දැරීමට එරට වැසියන්ට සිදුව ඇති බවත් ඔහු පෙන්වා දෙයි. කොවිඩ් වසංගතයෙන් පසු එරට අගමැතිවරයෙකු ජාතිය ඇමතූ පළමු අවස්ථාව මෙය වීම මෙහි බරපතලකම මූර්තිමත් කරන්නකි.
හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර වීම නිසා ලෝකයේ තෙල් සහ ස්වභාවික වායු සැපයුමෙන් 20%ක් පමණ ඇනහිට ඇති අතර, මේ හේතුවෙන් බොහෝ රටවල් ඉන්ධන පිරිමසා ගැනීමේ දැඩි ක්‍රියාමාර්ග වෙත යොමු වී තිබේ. ඇතැම් ඉන්ධන පිරවුම්හල් සිඳී යාම නිසා ජනතාව කලබල වී ඉන්ධන රැස් කිරීමට (Panic-buying) පෙළඹී ඇති අතර, එය පාලනය කිරීම සඳහා ඉන්ධන මත පනවන බදු සහ මාර්ග ගාස්තු තාවකාලිකව කපා හැරීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර ඇත. ඉදිරි මාස කිහිපය පහසු නොවන බව පවසන අගමැතිවරයා, අත්‍යවශ්‍ය සේවාවන් සඳහා ඉන්ධන ඉතිරි කිරීමට හැකි සෑම විටම පොදු ප්‍රවාහනය භාවිතා කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.
ගෝලීය පීඩනයෙන් ජනතාව සම්පූර්ණයෙන්ම ආරක්ෂා කිරීමට කිසිදු රජයකට නොහැකි වුවද, කලාපීය හවුල්කරුවන් හරහා ඉන්ධන ආනයනය වැඩිකිරීමට “ජාතික ඉන්ධන ආරක්ෂණ සැලැස්මක්” ක්‍රියාත්මක කරන බව ද ඔහු සඳහන් කළේය. එළඹෙන පාස්කු උත්සව සමයේදී අනවශ්‍ය ලෙස ඉන්ධන තොග රැස් නොකර සාමාන්‍ය පරිදි කටයුතු කරන ලෙසත්, එකිනෙකාට උදව් කරමින් මෙම අභියෝගයට මුහුණ දෙන ලෙසත් ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටියේය.














