ඉරානයේ පවතින යුදමය වාතාවරණය සැලකිල්ලට ගනිමින් එක්සත් රාජධානිය යුරෝපා සංගමය (EU) සමඟ වඩාත් සමීප ආර්ථික සබඳතා පවත්වා ගැනීමට කටයුතු කරන බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ශ්‍රීමත් කීර් ස්ටාමර් ප්‍රකාශ කරනවා. මාධ්‍ය හමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ මේ වසරේ අගභාගයේදී පැවැත්වීමට නියමිත යුරෝපා සංගම් සමුළුවේදී ආර්ථිකය සහ ආරක්ෂාව සම්බන්ධයෙන් වඩාත් පුළුල් සහයෝගීතාවයකින් කටයුතු කිරීමට තමන් අපේක්ෂා කරන බවයි.
ඉරානය සමඟ පවතින මෙම යුද්ධයට තවදුරටත් සෘජුව මැදිහත් වීම අග්‍රාමාත්‍යවරයා විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මේ වන විට ඇමරිකාව සහ බ්‍රිතාන්‍යය අතර පවතින සබඳතා යම් තරමකට දැඩි වී ඇති පසුබිමකයි බ්‍රිතාන්‍යය මෙම තීරණය ගෙන ඇත්තේ.
මෙම යුද ගැටුම් හේතුවෙන් බ්‍රිතාන්‍යයටද යම් බලපෑම් එල්ල වන බවට අනතුරු ඇඟවූ අග්‍රාමාත්‍යවරයා, කෙසේ වෙතත් ජනතාවගේ ජීවන වියදම් බර ලිහිල් කිරීම සඳහා රජය අවශ්‍ය පියවර ගනිමින් සිටින බවට සහතිකයක් ලබා දුන්නා. මේ අතර ඉහළ යන බලශක්ති පිරිවැයෙන් මහජනතාව ආරක්ෂා කිරීම සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාදැයි දැන්ම ප්‍රකාශ කරන ලෙස බ්‍රිතාන්‍යයේ විපක්ෂ දේශපාලන පක්ෂ රැසක් රජයට බලපෑම් කරමින් සිටිනවා.
කොන්සර්වේටිව් (Conservatives) සහ රිෆෝම් යූකේ (Reform UK) යන පක්ෂ ඉල්ලා සිටින්නේ ගෘහස්ථ බලශක්ති බිල්පත් සඳහා පනවා ඇති වැට් (VAT) බද්ද ඉවත් කරන ලෙසත්, ලබන සැප්තැම්බර් මාසයේදී සිදු කිරීමට නියමිත ඉන්ධන බදු වැඩි කිරීම අවලංගු කරන ලෙසත්ය. ලිබරල් ඩෙමොක්‍රටික් (Liberal Democrats) පක්ෂයද එම බදු වැඩි නොකරන ලෙස ඉල්ලා සිටින අතර, ග්‍රීන් (Greens) පක්ෂය පවසන්නේ ජූලි මාසයේ සිට බලශක්ති බිල්පත් සඳහා සහනාධාර ලබා දීමට රජය දැන්ම පවුම් බිලියන ගණනක මුදලක් වෙන් කළ යුතු බවයි.














