ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානය සමඟ යුද්ධයක් ආරම්භ කිරීමට ගත් තීරණය පිළිබඳව තමන් දැඩි කෝපයකින් සහ කනස්සල්ලෙන් පසුවන බව බ්‍රිතාන්‍ය මුදල් අමාත්‍ය (Chancellor) රේචල් රීව්ස් (Rachel Reeves) ප්‍රකාශ කරනවා. විශේෂයෙන්ම මෙම යුද්ධයෙන් ඉවත් වීමට කිසිදු පැහැදිලි උපායමාර්ගයක් (Exit strategy) ඇමරිකාව සතුව නොමැති බවයි ඇය පෙන්වා දෙන්නේ.
බී.බී.සී. රේඩියෝ 2 නාලිකාව සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමින් මුදල් අමාත්‍යවරිය සඳහන් කළේ මෙම යුදමය වාතාවරණය හේතුවෙන් මේ වන විටත් ලොව පුරා ජනතාව දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දෙමින් සිටින බවයි. උද්ධමනය ඉහළ යාම, ආර්ථික වර්ධනය අඩාල වීම සහ බදු ආදායම් පහළ යාම මෙහි සෘජු ප්‍රතිඵල බව ඇය අවධාරණය කළා.
ඉරානයට එරෙහිව දැඩි ප්‍රහාර එල්ල කිරීම සඳහා බ්‍රිතාන්‍ය ගුවන් කඳවුරු භාවිතා කිරීමට ඇමරිකාවට අවසර දීම බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ශ්‍රීමත් කීර් ස්ටාමර් විසින් මීට පෙර ප්‍රතික්ෂේප කරනු ලැබුවා. ඉන් අනතුරුව බ්‍රිතාන්‍යය එම කඳවුරු භාවිතා කිරීමට අවසර දුන්නේ ඉරාන මිසයිල ප්‍රහාරවලින් ආරක්ෂා වීමේ (Defensive action) මෙහෙයුම් සඳහා පමණයි. මෙම තත්ත්වය නිසා මෑත සතිවලදී ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාව දැඩි ලෙස විවේචනයට ලක් කර ඇති අතර දෙරට අතර සබඳතාවලද යම් දැඩි බවක් නිර්මාණය වී තිබේ.
කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය රජය වත්මන් තත්ත්වය ඉතා සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවත්, රට තුළට අවශ්‍ය බොරතෙල් සහ ගෑස් බාධාවකින් තොරව ගෙන්වා ගනිමින් මිල පාලනය කිරීමට උපරිම උත්සාහයක නිරත වන බවත් රේචල් රීව්ස් වැඩිදුරටත් සඳහන් කළා.














