ඇමෙරිකා එක්සත් ජනපදයෙන් මිලදී ගැනීමට සැලසුම් කර තිබූ ‘පේට්‍රියට්’ ගුවන් ආරක්ෂක පද්ධති ලබා දීම දිගින් දිගටම ප්‍රමාද වීම හේතුවෙන් එම ගිවිසුම අවලංගු කිරීමට ස්විට්සර්ලන්ත රජය සලකා බලමින් සිටින බව එරට ආරක්ෂක අමාත්‍ය මාටින් පිස්ටර් (Martin Pfister) ඊයේ (01) ප්‍රකාශ කළේය. යුක්රේනයට ප්‍රමුඛතාව ලබා දීම සඳහා ඇමෙරිකාව විසින් ස්විට්සර්ලන්තයට ලබා දීමට තිබූ මෙම පද්ධති ප්‍රමාද කිරීම මෙයට ප්‍රධාන හේතුව වී තිබේ.
ස්විට්සර්ලන්තය 2022 වසරේදී පේට්‍රියට් පද්ධති පහක් සඳහා ඇණවුම් ලබා දී තිබූ අතර එහි බෙදාහැරීම් මේ වසරේ ආරම්භ වීමට නියමිතව තිබුණි. එහෙත් ඇමෙරිකාව විසින් ස්විට්සර්ලන්තය ගෙවූ මුදල් අවසරයකින් තොරව වෙනත් මිලදී ගැනීම් (F-35A ප්‍රහාරක යානා) සඳහා යොදාගෙන ඇති බවට ද චෝදනා එල්ල වී ඇත. මේ හේතුවෙන් පේට්‍රියට් පද්ධතිය සඳහා සිදු කරන ගෙවීම් තාවකාලිකව අත්හිටුවීමට ස්විට්සර්ලන්ත ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ස්විට්සර්ලන්ත රජය පවසන්නේ නව බෙදාහැරීමේ දින වකවානු සහ ගෙවීම් කාලසීමාවන් ඇමෙරිකාව විසින් ස්ථිරව ප්‍රකාශ කරන තෙක් මෙම අත්හිටුවීම ක්‍රියාත්මක වන බවයි. මෙම ගිවිසුම අඛණ්ඩව පවත්වාගෙන යන්නේද නැද්ද යන්න පිළිබඳ අවසන් නිර්දේශය 2026 ජූනි මස අවසානයට පෙර එරට රජයට ඉදිරිපත් කිරීමට නියමිතය. නේටෝ (NATO) සංවිධානයේ සාමාජිකයෙකු නොවන ස්විට්සර්ලන්තය සිය ගුවන් ආරක්ෂාව ශක්තිමත් කර ගැනීමට ගත් මෙම උත්සාහය දැන් බරපතළ අභියෝගයකට ලක්ව ඇත.














