ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට එරෙහිව ක්‍රියාත්මක හමුදා මෙහෙයුම්වල අරමුණු සම්පූර්ණ වීමට ආසන්න බව ප්‍රකාශ කරමින් ඉදිරි සති කිහිපය තුළ එම කටයුතු අවසන් කරන බවට සපථ කර තිබේ. වොෂින්ටනයේ සිට ජාතිය අමතමින් ඔහු වැඩිදුරටත් පැවසුවේ ඉදිරි සති 2 සිට 3 දක්වා වූ කාලය ඇතුළත ඉරානයේ සියලුම විදුලි බලශක්ති මධ්‍යස්ථාන වෙත ඉතා ප්‍රබල ප්‍රහාර එල්ල කරන බවයි.
මෙම දැවැන්ත ප්‍රහාරයන් හරහා ඉරානය නැවතත් ශිලා යුගය දක්වා ආපස්සට ඇද දමන බවට ඔහු අනතුරු අඟවා ඇත. ඇමරිකාව සැලසුම් කළ හමුදා අරමුණු බොහොමයක් මේ වන විටත් සාර්ථක වී ඇති බවත් එම කාර්යය නිම කිරීමට තව ඇත්තේ ඉතා සුළු කාලයක් බවත් ඔහු සඳහන් කළේය. ජනාධිපති ට්‍රම්ප් ජාතිය අමතමින් මේ බව පැවසුවේ හෝර්මුස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීමට දරන උත්සාහයන් සහ කලාපීය නොසන්සුන්තාවයන් මධ්‍යයේය. ඉරානය සාකච්ඡාවලට නොපැමිණෙන්නේ නම් එරට යටිතල පහසුකම් සම්පූර්ණයෙන්ම විනාශ කරන බවටද ට්‍රම්ප් මෙහිදී දැඩිව ප්‍රකාශ කර තිබේ.














