ශ්‍රී ලංකාවේ සුරාබදු දෙපාර්තමේන්තුව පසුගිය වසර තුනක කාලය තුළ සිය ආදායම 60% කට වඩා වැඩි කර ගැනීමට සමත් වී තිබේ. 2022 වසරේ ජනවාරි මාසයේ සිට මෙරට නිෂ්පාදිත සෑම මත්පැන් බෝතලයකටම ආරක්ෂිත ස්ටිකරයක් ඇලවීම අනිවාර්ය කිරීම මෙම ආදායම් වර්ධනයට ප්‍රධානතම හේතුව වී ඇති බව වාර්තා වේ. මෙමඟින් රජයට අයවිය යුතු බදු නිසි පරිදි එකතු කර ගැනීමට හැකි වී ඇති අතර හොර මත්පැන් සහ ප්‍රමිතියෙන් තොර නිෂ්පාදන හඳුනා ගැනීමට ද පහසු වී ඇත.
දෙපාර්තමේන්තු වාර්තාවලට අනුව 2021 වසරට සාපේක්ෂව 2022 වසරේදී රුපියල් බිලියන 170 ක ආදායමක් උපයා ඇති අතර, එය 2024 වන විට රුපියල් බිලියන 226 දක්වා ඉහළ ගොස් තිබේ. 2025 වසරේ මුල් මාස නවය තුළ පමණක් රුපියල් බිලියන 190 ක ආදායමක් උපයා ඇති අතර, එය රජය විසින් අපේක්ෂිත ඉලක්කය වූ රුපියල් බිලියන 177 ඉක්මවා යාමකි. මෙම වසර සඳහා රුපියල් බිලියන 242 ක ආදායම් ඉලක්කයක් සපුරා ගැනීමට දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි.
මෙම ව්‍යාපෘතිය ආරම්භක අවධියේදී ඇතැම් නිෂ්පාදකයින් ස්ටිකර් ඇලවීම මඟහැරීම නිසා රජයට විශාල බදු ආදායමක් අහිමි වුවද, පසුව සිදුකළ වැටලීම් සහ දැඩි නීති රීති හේතුවෙන් සියලුම නිෂ්පාදකයින් මෙයට අනුගත වී ඇත. මේ වන විට මෙරට බලපත්‍රලාභී මත්පැන් නිෂ්පාදකයින් 70 දෙනෙකු සහ ආනයනකරුවන් 18 දෙනෙකු මෙම ස්ටිකර් ක්‍රමය යටතේ ලියාපදිංචි වී සිටිති. නවීන තාක්ෂණය භාවිතා කරමින් මෙම ස්ටිකර් පද්ධතිය තවදුරටත් විධිමත් කිරීමට පියවර ගෙන ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.














