ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට කෘත්‍රිම බුද්ධිය (AI) මඟින් පාලනය වන කටහඬින් ක්‍රියාත්මක වන සහයක පද්ධතියක් (Voice Concierge Platform) හඳුන්වා දීමට පවර්ඩ් පොයින්ට්ලැබ්ස් ටෙක්නොලොජීස් (Pointlabs Technologies) සමාගම කටයුතු කර තිබේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන මෙම ආයතනය විසින් මෙම නවතම සේවාව ස්ටෑන්ඩර්ඩ් චාටඩ් (Standard Chartered) බැංකුවේ ප්‍රමුඛ පෙළේ (Priority) ගනුදෙනුකරුවන් වෙනුවෙන් නිර්මාණය කර ඇත.
කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්වුණු මෙම සමාරම්භක උත්සවය සඳහා පවර්ඩ් පොයින්ට්ලැබ්ස් ටෙක්නොලොජීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී දිලීප් ඩී. එස්. සහ ස්ටෑන්ඩර්ඩ් චාටඩ් බැංකුවේ ධන සහ සිල්ලර බැංකු අංශ ප්‍රධානී චමිකර විජේසිංහ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගී වූහ.
මෙම නව්‍ය තාක්ෂණික විසඳුම මඟින් බැංකුවේ ප්‍රමුඛ පෙළේ ගනුදෙනුකරුවන්ට තමන්ටම ආවේණික වූ සංචාරක නිර්දේශ ලබා ගැනීමට, සංචාරක සැලසුම් කළමනාකරණය කිරීමට සහ හුදෙක් කටහඬ විධානයන් මඟින් පමණක් අදාළ සහය සේවාවන් ඉතා පහසුවෙන් ලබා ගැනීමට අවස්ථාව සලසා දෙයි. ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර මූලස්ථානය පිහිටි පවර්ඩ් පොයින්ට්ලැබ්ස් ටෙක්නොලොජීස් සමාගම බැංකු සහ මූල්‍ය තාක්ෂණ (Fintech) ක්ෂේත්‍රය සඳහා මෙවැනි අතිනවීන AI විසඳුම් සපයනු ලබන ප්‍රමුඛ ආයතනයකි.














