බටහිර ආසියාවේ (මැදපෙරදිග) පවතින යුද ගැටුම් හේතුවෙන් ආර්ථික අවිනිශ්චිතතාවයක් මතුව තිබුණද, තම ආයතනයේ කිසිදු සේවකයෙකු ඉවත් නොකරන බවට ඩුබායිහි වෙසෙන ඉන්දීය බිලියනපති රිස්වාන් සාජාන් (Rizwan Sajan) සහතික වී තිබේ. ඩැනියුබ් සමූහ ව්‍යාපාරයේ (Danube Group) නිර්මාතෘවරයා වන ඔහු, සිය ඉන්ස්ටග්‍රෑම් (Instagram) ගිණුම හරහා අද (02) මෙම විශේෂ නිවේදනය නිකුත් කළේය.
තම ආයතනය යටතේ සේවය කරන 6,000කට අධික සේවක පිරිසගේ රැකියා සුරක්ෂිතභාවය පිළිබඳව ඔහු මෙහිදී දැඩිව අවධාරණය කළේය. “යහපත් කාලයේදී සැවොම වර්ධනය ගැන කතා කරනවා. නමුත් දුෂ්කර කාලයේදී තමයි වටිනාකම් පරීක්ෂාවට ලක්වෙන්නේ,” යනුවෙන් ඔහු සඳහන් කර ඇත. ඒ අනුව කිසිදු සේවකයෙකු සේවයෙන් පහ නොකරන (No Layoffs) අතර, ඔවුන්ගේ වැටුප් නියමිත වේලාවට ගෙවන බවට ද ඔහු පොරොන්දු විය.
රිස්වාන් සාජාන් මෑතකදී ඩුබායිහි මහල් 55කින් යුත් වාණිජ කුළුණක් විවෘත කළ අතර, එය බොලිවුඩ් සුපිරි තරුවක් වන ශාරුක් ඛාන් (Shah Rukh Khan) සිහිපත් කරමින් නම් කර තිබුණි. මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හමුවේ වුවද, තම සේවකයන් දිරිමත් කරමින් ඔහු ගත් මෙම තීරණය බොහෝ දෙනාගේ පැසසුමට ලක්ව තිබේ.














