ලෝක වෙළෙඳපොළේ පවතින දැඩි තරගකාරීත්වය සහ ආර්ථික වෙනස්කම් මධ්‍යයේ ශ්‍රී ලංකාවේ අපනයනකරුවන් මුහුණ දෙන වත්මන් සහ නැඟී එන අභියෝග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා DFCC බැංකුව විශේෂ මැදිහත්වීමක් සිදු කර තිබේ. ලංකා වාණිජ මණ්ඩලයේදී පැවැත්වුණු අපනයන ත්වරණ වැඩසටහනට (Export Acceleration Programme) එක්වෙමින් DFCC බැංකුව මෙම සංවාදයට දායක විය. මෙහිදී බැංකුව නියෝජනය කරමින් භාණ්ඩාගාර ප්‍රධානී ප්‍රින්ස් පෙරේරා, ව්‍යාපාරික බැංකු අංශ ප්‍රධානී ප්‍රදීප් ද අල්විස්, වෙළෙඳ සේවා අංශයේ ප්‍රසන්න ප්‍රේමරත්න සහ ජූඩ් මුත්තයියා යන ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහභාගී වූහ.
මෙහිදී විශේෂයෙන්ම අවධානයට ලක්වූයේ වර්තමාන වෙළෙඳපොළ තුළ විදේශ විනිමය උච්චාවචනයන් තීරණ ගැනීම කෙරෙහි සෘජුවම බලපාන බැවින් එය වඩාත් විනයානුකූලව කළමනාකරණය කළ යුතු බවයි. එසේම නව වෙළෙඳපොළවල් සොයා යාමේදී ගෙවීම් පියවීමට ගතවන කාලය දීර්ඝ වීම සහ අවදානම් සහගත වීම පිළිබඳව අපනයනකරුවන් දැඩි අවධානයක් යොමු කළ යුතු බවද මෙහිදී අවධාරණය විය. අපනයනකරුවන්ට හුදෙක් ණය පහසුකම් සැපයීමට එහා ගිය මඟපෙන්වීමක්, උපදේශනයක් සහ ගෝලීය වෙළෙඳපොළ අවදානම් කළමනාකරණයට සහායක් බැංකු වෙතින් අපේක්ෂා කරන බවද පෙන්වා දෙන ලදී. වේගයෙන් වර්ධනය වීමට වඩා පවතින අවදානම් සහ තත්ත්වයන් කළමනාකරණය කරගනිමින් ඉදිරියට යාම වර්තමාන අපනයන ක්ෂේත්‍රයේ ප්‍රධානතම අවශ්‍යතාව බව මෙම සාකච්ඡාවේදී විශේෂඥයින්ගේ අදහස විය.













