ඇමෙරිකානු භූමිය තුළ උපත ලබන ඕනෑම දරුවෙකුට හිමිවන ස්වයංක්‍රීය පුරවැසිභාවය සීමා කිරීම සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගෙන යන නීතිමය සටනේදී චීනය ප්‍රධාන අවධානයට ලක්ව තිබේ. මේ සම්බන්ධයෙන් ඊයේ (01) ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවැති මූලික කරුණු විමසීමේදී, ට්‍රම්ප් පරිපාලනය වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජනරාල් ඩී. ජෝන් සෝවර් (D. John Sauer) ප්‍රකාශ කළේ මෙම පුරවැසිභාවය ලබා ගැනීම සඳහාම විදේශිකයන් ඇමෙරිකාවට පැමිණීමේ “උප්පැන්න සංචාරක කර්මාන්තය” (Birth Tourism) වහාම නැවැත්විය යුතු බවයි.
විශේෂයෙන්ම චීනය වැනි ඇමෙරිකාවට හිතකර නොවන රටවලින් දහස් සංඛ්‍යාත පිරිසක් පුරවැසිභාවය ලබා ගැනීමේ අරමුණින් ඇමෙරිකාවට පැමිණ දරුවන් බිහි කරන බවත්, එමගින් ඇමෙරිකාවට කිසිදු ලැදියාවක් නොමැති පුරවැසියන් පරම්පරාවක් බිහිවන බවත් රජය පාර්ශවයෙන් තර්ක කරන ලදී. කෙසේ වෙතත්, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් මෙම තර්ක කෙරෙහි යම් සැක සහිත ස්වභාවයක් (Sceptical) පෙන්නුම් කර ඇති අතර, වසර සියයකට අධික කාලයක් පැවැති මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිත අයිතිය වෙනස් කිරීමේ නීතිමය පදනම පිළිබඳව ඔවුන් ප්‍රශ්න කර තිබේ.
මෙම නඩුවේ තීන්දුව ඇමෙරිකානු පුරවැසිභාවය පිළිබඳ නීති රීතිවලට මෙන්ම චීනය සහ ඇමෙරිකාව අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට ද දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. ජනාධිපති ට්‍රම්ප්ගේ මැතිවරණ පොරොන්දුවක් වූ මෙම පුරවැසිභාවය අහෝසි කිරීමේ ක්‍රියාවලිය සාර්ථක වුවහොත්, එය ඇමෙරිකානු ඉතිහාසයේ සිදු කෙරෙන ප්‍රධානතම ව්‍යවස්ථාමය වෙනසක් වනු ඇත.














