ඉන්දියාවේ හරීද්වාර් (Haridwar) නගරයේ පැවැත්වීමට නියමිත 2027 අර්ධ කුම්භ මේලා (Ardh Kumbh) උත්සවය සඳහා සූදානම් වීමේ පියවරක් ලෙස, නගර සීමාව තුළ අමු මස් අලෙවිය තහනම් කිරීමට නගර බලධාරීන් සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ. මෙම යෝජනාව ඉදිරි මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිත අතර, දැනට පවතින මස් වෙළඳසැල් නගරයෙන් බැහැර සරායි (Sarai) ගම්මානය වෙත ගෙන යාමට ද යෝජනා වී ඇත.
මෙම තීරණයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ නගරයේ සනීපාරක්ෂක ප්‍රමිතීන් ඉහළ නැංවීම සහ වීදි සුනඛයන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යාම පාලනය කිරීමයි. මස් වෙළඳසැල් ආශ්‍රිතව බැහැර කරන අපද්‍රව්‍ය හේතුවෙන් වීදි සතුන් නගරය තුළ වැඩි වශයෙන් සැරිසරන බවට බලධාරීන් පෙන්වා දී තිබේ. ‘ටයිම්ස් ඔෆ් ඉන්දියා’ (The Times of India) පුවත්පතට අනුව, මෙම පියවර හරහා නගරයේ පිරිසිදුකම තහවුරු කිරීමටත්, උත්සව සමයේ බැතිමතුන්ගේ පහසුව සැලසීමටත් අපේක්ෂා කෙරේ.
මේ අතර, හර්යානා (Haryana) ප්‍රාන්තය ද බලපත්‍ර රහිත මස් වෙළඳසැල් වැටලීමට දැඩි පියවර ගෙන තිබේ. ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක 22 පුරාම පරීක්ෂණ මෙහෙයුම් තීව්ව කර ඇති අතර, සතියක් ඇතුළත මේ පිළිබඳ වාර්තාවක් ලබා දෙන ලෙස දිස්ත්‍රික් පරිපාලනයන්ට නියෝග කර ඇත. ගුරුග්‍රම් (Gurugram) වැනි ප්‍රදේශවල ද බලපත්‍ර නොමැති මස් අලෙවිසැල් වසා දැමීමේ කටයුතු මේ වන විටත් ආරම්භ වී තිබේ.














