ඉන්දුනීසියාවේ උතුරු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේ අද (02) අලුයම රික්ටර් මාපක 7.4ක ප්‍රබල භූමිකම්පාවක් සිදුවී තිබේ. මෙම භූ කම්පනය හේතුවෙන් ගොඩනැගිලි රැසකට හානි සිදුවී ඇති අතර, එක් අයෙකු මියගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ. භූමිකම්පාවෙන් පසු ප්‍රදේශයේ කුඩා සුනාමි තත්ත්වයක් ද හටගෙන ඇත.
ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) පවසන පරිදි, සුලවෙසි (Sulawesi) සහ මලුකු (Maluku) දූපත් අතර මොලුකා මුහුදේ කිලෝමීටර් 35ක ගැඹුරින් මෙම භූ කම්පනය හටගෙන තිබේ. භූමිකම්පාවෙන් පැය භාගයකට පමණ පසු මුහුදු මට්ටම සෙන්ටිමීටර් 75කින් පමණ ඉහළ ගිය අතර, බලධාරීන් විසින් නිකුත් කළ සුනාමි අනතුරු ඇඟවීම පැය කිහිපයකට පසු ඉවත් කර ගන්නා ලදී. අසල්වැසි පිලිපීනයට මෙයින් සැලකිය යුතු බලපෑමක් එල්ල වී නොමැති බව එරට විද්‍යාඥයෝ තහවුරු කරති.
උතුරු සුලවෙසි පළාතේ මනාඩෝ (Manado) නගරයේ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් 70 හැවිරිදි කාන්තාවක් මියගොස් ඇති අතර, ටර්නේට් (Ternate) නගරයේ දේවස්ථානයක් ඇතුළු ගොඩනැගිලි කිහිපයකට බරපතල හානි සිදුවී තිබේ. තුවාල ලැබූ පුද්ගලයන් තිදෙනෙකු මේ වන විට රෝහල්ගත කර ඇති අතර, හානියට පත් ප්‍රදේශවල සහන සේවා කටයුතු සහ තවදුරටත් සිදුවී ඇති හානි පිළිබඳව ගණනය කිරීම් මේ වන විටත් ක්‍රියාත්මක වේ.














