ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් සැලකිය යුතු මට්ටමකින් යළිත් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව ‘WTI Crude’ බොරතෙල් බැරලයක මිල 11.41% ක දැවැන්ත වර්ධනයක් පෙන්වමින් අමෙරිකානු ඩොලර් 111.54 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම ‘බ්‍රෙන්ට්’ (Brent) බොරතෙල් බැරලයක මිලද ඩොලර් 109 සීමාව ඉක්මවා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මීට අමතරව ‘මර්බන්’ (Murban) වර්ගයේ බොරතෙල් බැරලයක මිලද අමෙරිකානු ඩොලර් 114.84 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙම මර්බන් බොරතෙල් මිල ඉහළ යාම ශ්‍රී ලංකාවට විශේෂයෙන්ම සහ සෘජුවම බලපාන කරුණක් වන්නේ පසුගිය කාලසීමාව පුරාවටම ශ්‍රී ලංකාව වැඩි වශයෙන් ආනයනය කර ඇත්තේ මෙම වර්ගයේ බොරතෙල් වීම නිසාවෙනි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවර නිෂ්පාදනය කෙරෙන මර්බන් බොරතෙල් යනු ඉතා පිරිසිදු, සැහැල්ලු මෙන්ම සල්ෆර් ප්‍රතිශතය ඉතා අඩු මට්ටමක පවතින ඉන්ධන විශේෂයකි. මේ හේතුවෙන් ඒවා පිරිපහදු කිරීම ඉතා පහසු වන අතර පෙට්‍රල්, ඩීසල් සහ ගුවන් යානා ඉන්ධන වැනි අත්‍යවශ්‍ය නිෂ්පාදන නිපදවා ගැනීමට වඩාත්ම සුදුසු බොරතෙල් වර්ගයක් ලෙසයි බලශක්ති විශේෂඥයන් පෙන්වා දෙන්නේ.














