ශ්‍රී ලංකාවේ ආයතනික සංස්කෘතිය, නායකත්වය සහ වගකීම් සහගත ව්‍යාපාරික ක්‍රියාකාරකම් ඔස්සේ රට ගොඩනැඟීමට සුවිශේෂී දායකත්වයක් සපයන ආයතන හඳුනාගෙන ඇගයීම සඳහා Great Place To Work ශ්‍රී ලංකා ආයතනය විසින් ‘Nation Builders: Powered by People’ නමින් පුරෝගාමී ජාතික ඇගයීම් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.
මෙහි මූලික අරමුණ වන්නේ මෙරට ජනතාවගේ සාමූහික ශක්තිය උපයෝගී කරගනිමින් ශ්‍රී ලංකාවේ අනාගතය යහපත් දිශාවකට හැඩගැස්වීමයි. හුදෙක් සේවා ස්ථානයට පමණක් සීමා නොවී, සමාජීය වෙනසක් ඇති කිරීමට සමත් වන සහ ප්‍රජා සංවර්ධනය වෙනුවෙන් කැපවී කටයුතු කරන සුවිශේෂී නායකත්වයක් සහිත ආයතන මෙහිදී ඇගයීමට ලක් කෙරෙනවා.
මෙම ‘Nation Builders’ වැඩසටහනේ ඇගයීම් රාමුව සකස් කර ඇත්තේ ‘ත්‍රිත්ව ප්‍රතිලාභ’ (Triple Bottom Line) හෙවත් මිනිසුන් (People), පෘථිවිය (Planet) සහ ලාභය (Profit) යන තිරසාර ආකෘතිය පදනම් කරගෙනයි. ඒ අනුව මූල්‍ය කාර්යසාධනයට අමතරව සමාජයට සහ පරිසරයට සිදු කරන බලපෑම මෙහිදී මනිනු ලබන අතර, එම සෑම අංශයකම ප්‍රධාන ගාමක බලවේගය වන්නේ ආයතනයක සේවක මඩුල්ලයි.
මෙහි ‘මිනිසුන්’ (People) යටතේ මානව ප්‍රාග්ධනය සඳහා ආයෝජනය කිරීම, ශ්‍රම පිළිවෙත්, සේවක අත්දැකීම් මෙන්ම විවිධත්වය, සාධාරණත්වය සහ ඇතුළත් කිරීම් (DEIB) වැනි ප්‍රතිපත්ති ඇගයීමට ලක් කෙරෙනවා. ‘පෘථිවිය’ (Planet) යටතේ පාරිසරික ආයෝජන සහ සදාචාරාත්මක මූලාශ්‍ර භාවිතය ඇගයෙන අතර, ‘ලාභය’ (Profit) යටතේ ආයතනයේ මූල්‍ය ක්‍රියාකාරිත්වය හරහා සමාජයට ලැබෙන සැබෑ ආර්ථික ප්‍රතිලාභ, යටිතල පහසුකම් සංවර්ධනයට යොදවන ප්‍රාග්ධනය සහ රට ගොඩනැඟීමට දායක වන පර්යේෂණ හා සංවර්ධන (R&D) කටයුතු පිළිබඳව අවධානය යොමු කෙරෙනවා.
Great Place To Work ශ්‍රී ලංකා ආයතනයේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරිනී ක්ෂණිකා රත්නායක මහත්මිය ප්‍රකාශ කළේ, ආයතනික සංස්කෘතිය යනු හුදෙක් බාහිර පෙනුමට පමණක් සීමා නොවී සැබෑ මෙහෙයුම් මට්ටමින් පවතින සහ නායකත්වයේ තීරණ මඟින් සමාජයට මැනිය හැකි වටිනාකමක් එකතු කරන ආයතන හඳුනා ගැනීම මෙම ව්‍යාපෘතියේ අරමුණ බවයි. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු එම ආයතනයේ ප්‍රධානියා වන රුවනි අල්විස්හේවා මහත්මිය විසින්ද අනාවරණය කරනු ලැබුවා.
මෙම සුවිශේෂී ඇගයීම් වැඩසටහන සඳහා ලියාපදිංචි වීමට අවසන් දිනය ලෙස 2026 අප්‍රේල් මස 30 වැනිදා දක්වා කාලය ලබා දී තිබෙනවා.














