පසුගිය බ්‍රහස්පතින්දා (02) රාත්‍රියේ සිට රුසියාව විසින් යුක්රේනය වෙත අඛණ්ඩව ගුවන් ප්‍රහාර එල්ල කරමින් සිටින බව යුක්රේන ගුවන් හමුදාව අද (03) ප්‍රකාශ කළේය. යුක්රේන ගුවන් සීමාව තුළ විශාල වශයෙන් රුසියානු ඩ්‍රෝන යානා සැරිසරන බවත්, මෙය යුක්රේන ගුවන් ආරක්ෂක පද්ධති අඩපණ කිරීම සඳහා රුසියාව විසින් අනුගමනය කරනු ලබන නව උපක්‍රමයක් බවත් වාර්තා වේ.
යුක්රේන ගුවන් හමුදා ප්‍රකාශක යූරි ඉග්නට් (Yurii Ihnat) රජයේ රූපවාහිනිය ඔස්සේ අදහස් දක්වමින් කියා සිටියේ, රුසියානු හමුදා නව ගමන් මාර්ග, නවීකරණය කරන ලද නවතම ඩ්‍රෝන වර්ග සහ විවිධ යුධ උපක්‍රම මේ වන විට භාවිතා කරමින් සිටින බවයි. විශේෂයෙන්ම රාත්‍රී කාලයේදී ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර පසුව දහවල් කාලයේදී දැවැන්ත මිසයිල ප්‍රහාර එල්ල කිරීම රුසියාවේ නවතම ක්‍රියාමාර්ගය වී තිබේ.
මෙම ප්‍රහාර මාලාව හේතුවෙන් යුක්රේනයේ ප්‍රධාන නගර රැසක පොදු සේවා සහ ආයතනික කටයුතුවලට බාධා එල්ල වී ඇත. රුසියාවට ආසන්නව පිහිටි කාර්කිව් (Kharkiv) ප්‍රදේශයට එල්ල වූ ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරවලින් එක් පුද්ගලයෙකු මියගොස් තවත් 25 දෙනෙකු තුවාල ලබා ඇති බව එම ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා තහවුරු කළේය. මෙම ප්‍රහාර මැඩපැවැත්වීම සඳහා යුක්රේන ආරක්ෂක අංශ දැඩි පරිශ්‍රමයක් දරමින් සිටී.














