වත්මන් ආණ්ඩුව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට දැඩි බියකින් පසුවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පවසනවා. තමන් රැවටුණු බව ජනතාව මේ වන විට තේරුම්ගෙන, නාමල් රාජපක්ෂ නම් තරුණ නායකත්වය වටා ඉතා ශක්තිමත්ව පෙළ ගැහෙමින් සිටින බවයි අද (28) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ.
මේ හේතුවෙන් ආණ්ඩුවට කිරීමට හැකි එකම දෙය වන්නේ බොරු චෝදනා නගමින්, නීතිය අවභාවිත කරමින් ඔහු සිරගත කිරීමට උත්සාහ දැරීම බවත්, නිසි ආකාරයෙන් සිදු කෙරෙන විමර්ශනයකට හෝ සාධාරණ නඩු විභාගයකට මුහුණ දීමේ කිසිදු බියක් තම පක්ෂයට නොමැති බවත් ඔහු සඳහන් කළා. පක්ෂයේ ඕනෑම අයෙකුට එරෙහිව යම් චෝදනාවක් ඇත්නම් ඒවා නිසි ආකාරයෙන් අධිකරණය හමුවට ගෙනැවිත් ඔප්පු කර දඬුවම් කරන්නේ නම්, තමන් නීතියට හිස නමන කණ්ඩායමක් බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
















