ඉන්දියාවේ චතිස්ගාර් ප්‍රාන්තයේ බිජාපූර් (Bijapur) ප්‍රදේශයේ මාවෝවාදී කැරලිකරුවන්ගේ රහසිගත කඳවුරක් වටලා සිදුකළ සෝදිසි මෙහෙයුමකදී ‘UBS’ සහ ‘Switzerland’ යනුවෙන් සටහන් කරන ලද කිලෝග්‍රෑම් 7.2 ක බරින් යුත් රන් බාර් තොගයක් පොලිසිය භාරයට ගෙන තිබේ. පසුගිය මාර්තු 31 වනදා සිදුකළ මෙම වැටලීමේදී සොයාගත් රන් ප්‍රමාණය ඉන්දීය රුපියල් කෝටි 11.16 කට අධික වටිනාකමකින් යුක්ත බව බලධාරීහු පවසති.
පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ, මාවෝවාදී නායකයෙකු වූ රූපේෂ්ගේ යටත් වීමෙන් පසුව මෙම රන් සහ විශාල මුදල් ප්‍රමාණයක් කැරලි නායක පාපාරාඕ (Paparao) වෙත යැවීම සඳහා මෙම රහසිගත ස්ථානයේ සඟවා තිබූ බවයි. දින 10 ක පමණ කාලයක් අත්අඩංගුවේ සිටි මාවෝවාදීන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් පසුව මෙම ස්ථානය සොයා ගැනීමට පොලිසියට හැකි වී තිබේ.
බස්ටාර් කලාපයේ (Bastar Range) පොලිස්පති සුන්දරරාජ් පට්ටිලිංගම් ප්‍රකාශ කළේ, මෙම රන් බාර්වල ඇති ‘ස්විස්’ සලකුණු පිළිබඳව දැඩි අවධානයක් යොමු කර ඇති බවයි. මෙය රන් ලබාගත් වෙළෙන්දන් විසින් සිදුකළ වංචාවක් ද නැතහොත් වෙනත් විදෙස් සම්බන්ධතාවක් ද යන්න පිළිබඳව විද්‍යාත්මක පරීක්ෂණ පවත්වන බවත්, රන්වල පිරිසිදුභාවය තහවුරු කිරීමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.














