යම් සිද්ධියකට අදාළව “වරද අනාවරණය වූ දිනය” වශයෙන් සලකනු ලබන්නේ එම සිද්ධිය පිළිබඳව පැමිණිල්ල ඉදිරිපත් කළ දිනය නොව, විමර්ශන නිලධාරියෙකු විසින් සිදුකරනු ලබන විමර්ශනයකින් අනතුරුව වරද හෙළිකරගත් දිනය බව කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මංජුල කරුණාරත්න මහතා අද (03) අවධාරණය කළේය. කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක් වන ආසිරි රෝහල සහ එහි අධ්‍යක්ෂවරුන්ට එරෙහිව නේවාසික රෝගියෙකුට වැඩි මිලට ඖෂධ විකිණීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුවකට අදාළ ප්‍රතිශෝධන පෙත්සමක් සලකා බැලූ අවස්ථාවේදී විනිසුරුවරයා මේ බව සඳහන් කළේය.
ආසිරි රෝහල් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් තර්ක කළේ වරද අනාවරණය වූ දිනයේ සිට මාස තුනක් ඇතුළත නඩු පැවරිය යුතු බවත්, මෙම නඩුව එම කාල සීමාව ඉක්මවා (කාලාවරෝධයෙන් පසුව) පවරා ඇති බැවින් එය පවත්වාගෙන යා නොහැකි බවත්ය. ඔවුන්ගේ මතය වූයේ පැමිණිල්ල ඉදිරිපත් කළ දිනය වරද අනාවරණය වූ දිනය ලෙස සැලකිය යුතු බවයි. කෙසේ වෙතත්, රජයේ නීතිඥවරිය පෙන්වා දුන්නේ විමර්ශන නිලධාරියා විසින් වරදක් සිදුව ඇති බව තහවුරු කරගත් දිනයේ සිට මාස තුනක් ඇතුළත නඩු පවරා ඇති බැවින් මෙය කාලාවරෝධයට හසු නොවන බවයි.
මෙම නඩුව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතින අතර, චෝදනා පත්‍ර කියවා දීම සඳහා රෝහල් අධ්‍යක්ෂවරුන් අධිකරණයට කැඳවමින් මහේස්ත්‍රාත්වරිය ලබා දුන් නියෝගය අභියෝගයට ලක් කරමින් මෙම ප්‍රතිශෝධන පෙත්සම ඉදිරිපත් කර තිබුණි. කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා, අදාළ නියෝගය පිළිබඳ තීන්දුව ලබන 27 වැනිදා ප්‍රකාශයට පත් කරන බව දැනුම් දුන්නේය. ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ අගතියට පත් සනත් කුමාර අතුකෝරල මහතා මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.














