ඉරාන-අමෙරිකානු යුද්ධය හේතුවෙන් ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ යාමත් සමඟ පකිස්ථානය තුළ ඉන්ධන මිල සියයට 43කින් ඉහළ දැමීමට පියවර ගෙන තිබුණද, ඉන් දිනකට පසුව පකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් විසින් විශේෂ සහනයක් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව පකිස්ථානයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 80කින් අඩු කිරීමට තීරණය කර ඇති අතර, නව මිල පකිස්ථාන රුපියල් 378ක් (ඇමරිකානු ඩොලර් 1.35ක්) ලෙස සටහන් වේ.
මධ්‍යම විධානය (CENTCOM) සහ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව ‘Operation Epic Fury’ මෙහෙයුම යටතේ ගුවන් ප්‍රහාර තීව්‍ර කිරීමත් සමඟ ගෝලීය බලශක්ති සැපයුමට එල්ල වී ඇති බලපෑම හමුවේ පකිස්ථානය වැනි රටවල් දැඩි ආර්ථික පීඩනයකට ලක්ව සිටී. ඉරානය විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය අර්ධ වශයෙන් වසා දැමීම සහ කුවේටයේ මිනා අල්-අහ්මඩි වැනි තෙල් පිරිපහදුවලට ඩ්‍රෝන ප්‍රහාර එල්ල වීම නිසා බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 සීමාව ඉක්මවා ගොස් තිබියදී පවා, සිය රටේ ජනතාවට සහන සැලසීම සඳහා පකිස්ථාන රජය මෙම තීරණය ගෙන ඇත. අමෙරිකාව සහ ඉරානය අතර ඉස්ලාමාබාද්හි පැවැත්වීමට නියමිතව තිබූ සාම සාකච්ඡා ඉරානය විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමඟ කලාපීය යුදමය තත්ත්වය තවදුරටත් අවිනිශ්චිත වී ඇති පසුබිමක මෙම ඉන්ධන මිල සංශෝධනය සිදුවීම සුවිශේෂී වේ.
තොරතුරු උපුටා ගැනීම: Al Jazeera English (X) ඇසුරින්














