රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) අද පෙරවරු 8.00 සිට ආරම්භ කර ඇති දීපව්‍යාප්ත වැඩ වර්ජනයට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය (SAMS) කිසිදු සහයක් නොදක්වන බව එම සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ආර්. ඥානසේකරම් මහතා අවධාරණය කරයි. විශේෂඥ වෛද්‍යවරුන් මෙම වර්ජනයට සහය දක්වන බවට සමාජය තුළ පැතිර යන මතය සම්පූර්ණයෙන්ම වැරදි බවත්, විශේෂඥ වෛද්‍ය සේවාවන් රෝහල් තුළ අඛණ්ඩව ක්‍රියාත්මක වන බවත් ඔහු පැහැදිලි කළේය. මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කළේය.
විශේෂඥ වෛද්‍යවරුන් 2,300කට අධික පිරිසක් සහ පශ්චාත් පුහුණු විශේෂඥ වෛද්‍යවරුන් සියලු දෙනා අද දින සුපුරුදු පරිදි සේවයට වාර්තා කර ඇති බව ලේකම්වරයා පෙන්වා දුන්නේය. එමෙන්ම සාමාන්‍ය ශ්‍රේණිවල වෛද්‍යවරුන් පවා මෙම වර්ජනයට සහභාගී නොවන බව තමන්ට දැනගන්නට ලැබී ඇති බව ද ඔහු පැවසීය. විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය කිසිදු අවස්ථාවක ප්‍රතිපත්තියක් ලෙස වැඩ වර්ජනවලට යොමු නොවන බවත්, රෝගීන් අමාරුවේ දමමින් ඉල්ලීම් දිනා ගැනීමට උත්සාහ නොකරන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
තමන්ට ද වෘත්තීයමය ගැටලු රැසක් පවතින බවත්, ඒ පිළිබඳව රජය සමඟ සාකච්ඡා කළ ද මෙතෙක් ස්ථිර විසඳුම් ලැබී නොමැති බවත් වෛද්‍ය ඥානසේකරම් මහතා මෙහිදී අනාවරණය කළේය. සිය ඉල්ලීම් බලධාරීන් වෙත ලිඛිතව ඉදිරිපත් කර ඇති නමුත්, මහජනතාව පීඩාවට පත් කරමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට එළඹීම තම සංගමයේ ශෛලිය නොවන බව ඔහු අවධාරණය කළේය. මේ අනුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වර්ජනය මධ්‍යයේ වුවද, විශේෂඥ වෛද්‍යවරුන්ගේ කැපවීම මත රෝහල් පද්ධතියේ අත්‍යවශ්‍ය සේවාවන් බිඳ වැටීමකින් තොරව පවත්වාගෙන යාමට හැකි වී තිබේ.














