බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේදී පසුගියදා පැවැති ආසන සංවිධායකවරුන් පත් කිරීමේ උත්සවයකින් අනතුරුව, නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් අතර පැවැති සුහද සාකච්ඡාවකදී වර්තමාන දේශපාලන කරුණු කිහිපයක් පිළිබඳව අවධානය යොමු වී තිබේ. එහිදී විශේෂයෙන්ම බාල ගල් අඟුරු ආනයනය හේතුවෙන් විදුලි බිල ඉහළ යාම සහ ඉදිරියේදී ඇති විය හැකි විදුලි කප්පාදුව පිළිබඳව නාමල් රාජපක්ෂ මහතා රජයට දැඩි විවේචනයක් එල්ල කළේය. මෙම වංචාවන් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා නිහඬව සිටීම හරහා ඔහු ද මීට වගකිව යුතු බව මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දී ඇත.
මෙම සාකච්ඡාව අතරතුර ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) ක්‍රියාකලාපය පිළිබඳව ද උපහාසාත්මක අදහස් හුවමාරු වූ අතර, ලාල්කාන්ත මහතාගේ නිවසේ පැවැති දානමය පින්කම සහ සුනිල් හඳුන්නෙත්ති මහතාගේ යැයි කියනු ලබන ‘V8’ රථය පිළිබඳව ද පිරිස අතර කතාබහට ලක් විය. එහිදී අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා සිනාසෙමින් පවසා ඇත්තේ, “ඉන්ධන අඩුවෙන් වැය වන” බව කියන හඳුන්නෙත්ති මහතාගේ එම වාහනයේ එන්ජිම තමන්ට ද සොයා ගැනීමට අවශ්‍ය බවයි. හෙලිකොප්ටර් භාවිත නොකරන බව පවසා බලයට පැමිණි පිරිස් මේ වන විට ජනතාව රවටමින් සිටින බවට ද මෙහිදී චෝදනා එල්ල විය.














