මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් යුදමය වාතාවරණය (Operation Epic Fury) හමුවේ වසා දමා තිබූ උපාය මාර්ගිකව වැදගත් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා අත්‍යවශ්‍ය භාණ්ඩ සහ මානුෂීය ආධාර රැගත් නෞකාවලට ගමන් කිරීමට අවසර ලබා දෙන බව ඉරානය අද (අප්‍රේල් 04) නිල වශයෙන් නිවේදනය කළේය. ඉරානයේ තස්නිම් (Tasnim) පුවත් සේවය වාර්තා කරන පරිදි, ආහාර, ඖෂධ සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැගත් නෞකාවලට ඉරාන මුහුද සහ ඕමාන් බොක්ක හරහා ගමන් කිරීමට මෙලෙස අවස්ථාව හිමි වේ. ගෝලීය බලශක්ති අර්බුදය හමුවේ ඉරානය විසින් පනවා තිබූ දැඩි මුහුදු සීමාවන් මෙලෙස ලිහිල් කිරීම ජාත්‍යන්තර ප්‍රජාවගේ විශේෂ අවධානයට ලක්ව තිබේ.
මෙම තීරණයත් සමඟ සති කිහිපයක් පුරා මුහුදේ සිරවී තිබූ අත්‍යවශ්‍ය භාණ්ඩ රැගත් වාණිජ නෞකා රැසකට සිය ගමනාන්ත කරා ළඟා වීමට අවස්ථාව සැලසෙනු ඇත. ඉරාන බලධාරීන් පෙන්වා දෙන්නේ මානුෂීය පදනම මත මෙම පියවර ගත් බව වුවද, යුදමය වශයෙන් වැදගත් වන අනෙකුත් නෞකා සහ තෙල් ටැංකි සඳහා පනවා ඇති තහනම තවදුරටත් නොවෙනස්ව පවතින බවයි. විශේෂයෙන්ම අමෙරිකානු සහ ඊශ්‍රායල හිතවාදී සමාගම්වලට අයත් නෞකා සඳහා මෙම සහනය හිමි නොවන බව ද ඉරාන ආරක්ෂක අංශ අවධාරණය කර සිටියි.
ලෝක වෙළඳපොළේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යාම පාලනය කිරීමට මෙම පියවර යම් දුරකට දායක වනු ඇතැයි ආර්ථික විද්‍යාඥයෝ අපේක්ෂා කරති. කෙසේ වෙතත්, හෝමුස් සමුද්‍ර සන්ධිය පූර්ණ වශයෙන් විවෘත නොකිරීම හේතුවෙන් ගෝලීය තෙල් සැපයුමට එල්ල වී ඇති බලපෑම තවමත් එලෙසම පවතී. තුර්කිය වැනි රටවල් සිය සිරවී ඇති නෞකා නිදහස් කර ගැනීමට ගන්නා උත්සාහයන් හමුවේ ඉරානය ගත් මෙම තීරණය කලාපීය රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල යම් ප්‍රගතියක් ලෙස ද සැළකිය හැකිය.
තොරතුරු උපුටා ගැනීම: Mario Nawfal (X) ඇසුරින්














