ජර්මන් බුන්ඩෙස්ලීගා (Bundesliga) පාපන්දු තරගාවලියේ පෙරමුණේ පසුවන බයර්න් මියුනිච් (Bayern Munich) කණ්ඩායම, සිය ප්‍රධාන ප්‍රහාරක හැරී කේන් (Harry Kane) නොමැතිව වුවද ප්‍රයිබර්ග් (Freiburg) කණ්ඩායමට එරෙහිව 3-2 ක අදහාගත නොහැකි සුපිරි ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් වුණා. ආබාධයකට ලක්ව සිටින හැරී කේන් එළැඹෙන අඟහරුවාදා පැවැත්වෙන චැම්පියන්ස් ලීග් අර්ධ අවසන් පූර්ව තරගයේදී රියල් මැඩ්රිඩ් කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කරනු ඇතැයි බයර්න් කළමනාකරු වින්සන්ට් කොම්පැණි බලාපොරොත්තු පළ කර තිබෙනවා.
තරගයේ 81 වැනි මිනිත්තුව වන විටත් ජොහාන් මන්සම්බි (Johan Manzambi) සහ ලූකස් හෝලර් (Lucas Holer) ලබාගත් ගෝල නිසා ප්‍රයිබර්ග් කණ්ඩායම 2-0 ක් ලෙස පෙරමුණේ පසුවූ අතර, බයර්න් කණ්ඩායම මෙවර තරග වාරයේ සිය දෙවැනි පරාජයට මුහුණ දෙන බවක් පෙනෙන්නට තිබුණා. නමුත් 20 හැවිරිදි ටොම් බිෂොෆ් (Tom Bischof) දඬුවම් සීමාවෙන් පිටත සිට එල්ල කළ විශිෂ්ට පහරවල් දෙකකින් (92 වැනි මිනිත්තුවේදී වාර්තා කළ සම මට්ටමේ ගෝලයද ඇතුළුව) තරගය 2-2 ක් ලෙස සම තත්ත්වයට පත් කළා.
අනතුරුව 99 වැනි මිනිත්තුවේදී අල්ෆොන්සෝ ඩේවිස් (Alphonso Davies) ලබා දුන් පහත් හරස් පන්දුවක් සාර්ථකව ගෝලයක් බවට පත් කරමින් 18 හැවිරිදි ලෙනාර්ට් කාල් (Lennart Karl) බයර්න් මියුනිච් කණ්ඩායමට මෙම අතිවිශිෂ්ට ජයග්‍රහණය හිමිකර දුන්නා. මෙය බයර්න් කණ්ඩායම මෙවර බුන්ඩෙස්ලීගා තරග වාරයේ 28 වැනි තරගයකදී වාර්තා කළ 100 වැනි ගෝලය වීමද විශේෂත්වයක්. පසුගිය සතියේ සිය 40 වැනි උපන්දිනය සැමරූ බයර්න් දැල් රකින ක්‍රීඩක මැනුවෙල් නොයර් (Manuel Neuer) තරගයේදී විශිෂ්ට පන්දු රැකීම් කිහිපයක නිරත වුණා.














